බිරියට හා නීතිඥවරුන්ට ඉම්රාන් හමුවීම පන්ජාබ් රජයෙන් තහනම් කරයි

ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගෙන බන්ධනාගාරගතවී සිටින ඉම්රාන් ඛාන්ට ඔහුගේ බිරිය, නීතිඥවරුන් සහ ඔහුගේ ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂ නායකයන් මුණ ගැසීම පන්ජාබ් ප්‍රාන්ත රජය විසින් ලබන ඔක්තෝබර් 18 වැනිදා දක්වා තහනම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පන්ජාබ් ප්‍රාන්ත රජය මේ පියවර ගෙන ඇත්තේ ඔහු නිදහස් කරන ලෙස ඉල්ලා ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂයේ සාමාජිකයන් විසින් දැවැන්ත විරෝධතාවක් ආරම්භ කිරීම හේතුවෙන් බවට චෝදනා එල්ල වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

පසුගිය වසරේ අගෝස්තුවේ සිට රාවල්පිණ්ඩි නුවර අඩියාලා බන්ධනාගාරයේ රඳවා සිටින ඉම්රාන් ඛාන්ට එරෙහිව චෝදනා රැසක් එල්ල වී ඇති අතර, ඉන් බොහෝ චෝදනා සම්බන්ධව මෙතෙක් නඩු ගොනු කර නැතැයි ද වාර්තාවේ.

ලබන 15 සහ 16 දෙදින ඉස්ලාමාබාද් නුවරදී පැවැත්වීමට නියමිත ෂැංහායි සහයොගිතා සංවිධාන සමුළුව කඩාකප්පල් කිරීම ඉම්රාන්ගේ ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂයේ අරමුණ බවට එරට අභ්‍යන්තර කටයුතු ඇමැති මොෂින් නක්වි චෝදනා කර ඇතැයි ද වාර්තා වේ.