ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් බලයට පත්වූ පසුව සිදුකරන පළමු විදෙස් නිල සංචාරය සඳහා ඉන්දියාව බලා පිටත්ව යෑමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සැලසුම් කර තිබේ.
නිල සංචාරයක් සඳහා ඊයේ (04) ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය විදේශ ඇමැති ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් මහතා සමඟ පැවැති ද්වීපාර්ශ්වික සාකච්ඡාවේ දී ඉන්දීය සංචාරය සම්බන්ධයෙන් වන නිල ආරාධනය ජනාධිපතිවරයා වෙත පිළිගන්වා තිබෙන අතර, එම ආරාධනය පිළිගත් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සමඟ සාකච්ඡා කිරීම සඳහා සිය ප්‍රථම නිල විදේශ සංචාරය ලෙස නවදිල්ලිය බලා පිටත්ව යෑමට සූදානම් බව ජනාධිපති මාධ්‍ය අංශ්‍ය පවසයි.
සැප්තැම්බර් 21 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක මහතා ජයග්‍රහණය කිරීමෙන් පසු ඒ මහතා හමුවීමට පැමිණෙන පළමු ඉහළ පෙළේ විදේශීය ප්රභූවරයා වන්නේ ඉන්දීය විදේශ ඇමැතිවරයාය.
ඉන්දියාව ‘අසල්වැසියාට පළමු තැන’ ප්‍රතිපත්තිය සහ සාගර් ඉදිරි දැක්මට අනුකූලව, අන්‍යෝන්‍ය ප්රතිලාභ සඳහා දෙරටේ දිගුකාලීන හවුල්කාරිත්වය තවදුරටත් ගැඹුරු කිරීමට කැපවීම ඉන්දීය විදේශ ඇමැතිවරයාගේ සංචාරය මඟින් අවධාරණය කරන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.
මෙම සංචාරයේ දී ජයිශංකර් මහතා ඉන්දීය අරමුදල් සපයන මෙරට ව්‍යාපෘති සහ එහි ඉදිරි ගමන පිළිබඳව ද සාකච්ඡා කළ අතර මීට පෙර පත්වූ ජනාධිපතිවරුන්ට සේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ද නවදිල්ලි නුවරට පැමිණීම සඳහා නිල ආරාධනයක් පිළිගැන්වීය. දිසානායක ජනාධිපතිවරයා ද ප්‍රථමයෙන් නවදිල්ලි නුවරට පැමිණ පසුගිය ජනාධිපතිවරුන්ගේ මෙම සම්මතය රකිනු ඇති බව වාර්තා වෙයි.
මේ වනවිට දින නියම කර නොමැති නමුත් ජනාධිපතිවරයාගේ පළමු විදෙස් සංචාරය නොවැම්බර් 14 පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වීමෙන් පසුව සිදුවනු ඇති බවද එම වාර්තා සඳහන් කරයි.