නාමයෝජනා භාර ගැනීම අද ඇරඹේ-11 වැනිදා දහවල් 12ට අවසන්

මහමැතිවරණයට අදාළ නාමයෝජනා භාර ගැනීම අද (04) පෙරවරුවේ ආරම්භ කිරීමට නියමිත බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසීය.

නාමයෝජනා භාර ගැනීමේ කටයුතු 11 වැනිදා දහවල් 12ට අවසන් වේ.

නාමයෝජනා භාර ගන්නා ආරම්භක දිනය වන අද (04) සහ අවසන් දිනය වන 11 වැනිදා පෙළපාළි යෑම් සහ කණ්ඩායම් වශයෙන් හැසිරීම සපුරා තහනම් බව ද සභාපතිවරයා කීවේය.

මහමැතිවරණයට ඉදිරිපත් වීම සඳහා මේ වන විට ඇප මුදල බැඳීමේ කටයුතු ආරම්භ වී ඇති අතර පාර්ශ්ව 37ක් මේ වන විට ඇප තැන්පත් කර ඇතැයි ද හෙතෙම කීවේය.

මැතිවරණ කොට්ඨාස 22ට අදාළව දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් සහ අනෙකුත් සහකාර තේරීම්භාර නිලධාරීන් විසින් නාමයෝජනා භාර ගැනීම සිදු කිරීමට නියමිතය. තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ද මේ දිනවල සිදු කෙරෙන අතර 8 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් පසු එම කටයුතු අවසන් කෙරේ.

මේ අතර මහමැතිවරණයට අදාළව ප්‍රධාන ආයතන කිහිපයක් සමඟ මැතිවරණ කොමිසම පෙරේදා (02) විශේෂ සාකච්ඡාවක නිරත වී ඇති අතර නාමයෝජනා භාර ගැනීමේ සිට මැතිවරණය පැවැත්වීමේ දිනය දක්වා කාලය තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් සහ රජයේ මුද්‍රණාලයේ කටයුතු සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

මේ අතර ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීම ලබන 14 වැනිදා පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ලබන 26 වැනිදා පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබන 12 වැනිදා තැපෑලට භාර දෙන අතර ලබන 17 සිට 20 දක්වා ඒවා බෙදාහැරීමට නියමිතය.