විවේචන පසෙකලා සැවොම එක්ව ජනතා ගැටලුවලට උත්තර දිය යුතුයි-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

විවේචන පසෙකලා සැවොම එකට එක්වී රටට විසඳුම් සහ ජනතාවගේ ගැටලුවලට උත්තර දිය යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ පෙරේදා (02) දෙහිවල ප්‍රදේශයේ පක්ෂ ක්‍රියාකාරීන් සමඟ පැවති හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා මෙලෙස ද කීවේය.

“අද වන විට රටේ ජනතාව දුෂ්කර තත්ත්වයකට වැටී තිබෙනවා. මේ ජනතාව සහ මේ රට යළි ගොඩනඟන ගමනට පූර්ණ ශක්තිය සහ සහයෝගය දිය යුතුයි. කුහක දේශපාලන සංස්කෘතිය ඉවත දැමිය යුතුයි. තවත් වෙර යොදා රට මුහුණදෙන ගැටලුවලට ප්‍රායෝගික විසඳුම් දෙන වැඩපිළිවෙළට දායකත්වය සහ නායකත්වය දිය යුතුයි.

එසේම මහ මැතිවරණයට තරග කර ජයග්‍රහණය කර එය ජනතා ජයග්‍රහණයක් බවට පත් කර රටට ප්‍රමුඛතාව දී ජාතික අවශ්‍යතාවට මූලිකත්වය දිය යුතුයි. පටු දේශපාලන වාද භේද පසෙකලා විසඳුම් සෙවිය යුතුයි. තර්ක විතර්ක, වාද භේද කළ හැකි වුවත් රටේ සාධනීය ප්‍රශ්නවලට විසඳුම් දීම අමාරුයි. මේ වනවිට ආර්ථික වර්ධනය මන්දගාමීයි. ඒ නිසා ජනතාවගේ අතට මුදල් ලැබීම සීමාවී මුදල් සංසරණය අඩාලවී ආර්ථික වර්ධනය අඩුවී තිබෙනවා. සෘණාත්මක බලපෑමක් නිෂ්පාදන ක්‍රියාවට සිදු වෙනවා.

ආර්ථික සංකෝචනය නොව වර්ධනය විය යුතුයි. ලක්ෂ 220ක ජනතාවගේ අතමිට සරු කරන යුගය උදා කළ යුතුයි. සාම්ප්‍රදායික, පැරණි, ගතානුගතික දේශපාලනය බැහැර කර අලුත් විදිහට සිතා මාතෘ භූමිය ගොඩගත යුතුයි. රටක් ලෙස ගොඩ ආ යුතු ආකාරය ගැන සිතිය යුතුයි. ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන් රැකගෙන, ආයෝජන ප්‍රවර්ධනය කර, අපනයන කේන්ද්‍රීය ආර්ථික වර්ධනය ඇති කර යෞවන යෞවනියන්ට රැකියා දිය යුතුයි. රටට විසඳුම ලෙස ජනතාවගේ ගැටලුවලට උත්තර දිය යුතුයි. මැතිවරණයෙන් පසුබෑමට ලක්වූවා කියා මන්දගාමී නොවී සුපුරුදු දේශපාලනක්‍රමය අමතක කර රට ගොඩගත යුතු ආකාරය ගැන සිතිය යුතුයි.”