ප්‍රභාත්-කමිඳු ටෙස්ට් පිටියේ ඉහළට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ටෙස්ට් පිටියේ පන්දු යවන්නන් අතර ස්ථානයක් ඉහළට යෑමට දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය සමත් වූ අතර, මැද පෙළ පිතිකරු කමිඳු මෙන්ඩිස් ස්ථාන 5ක් ඉදිරියට යෑමට සමත්ව සිටියි.

නවසීලන්තයට එරෙහි පළමු තරගය නිමා වීමත් සමඟ පන්දු යවන්නන් අතර 8 වැනි ස්ථානයට පත්වූ ප්‍රභාත් දෙවැනි තරගයේ දැක්වූ දස්කම් මත තවත් ස්ථානයක් ඉදිරියට ගොස් සිය ක්‍රිකට් තරග දිවියේ ඉහළම ශ්‍රේණිගත කිරීම් ලෙස ශ්‍රේණිගත ලකුණු 801ක් හිමිකර ගෙන ඇත. ඔහු ඔස්ට්‍රේලියාවේ නේදන් ලයන් සමඟ 7 වැනි තැන සිටියි. නවසීලන්තයට එරෙහි දෙවැනි තරගයේදී ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනාගත් නිශාන් පිරීස් කඩුලු 9ක් බිඳ දැමීමත් සමඟ පළමු අවස්ථාවේදීම පන්දු යවන්නන් අතර 59 වැනි තැනට පත්ව සිටින අතර, අසිත ප්‍රනාන්දු 13 වැනි තැනම සිටියි. මේ අතර බංග්ලාදේශයට එරෙහි තරගාවලියේ දැක්වූ දස්කම් මත ඉන්දියාවේ ජස්ප්‍රීට් බුම්රා පන්දු යවන්නන් අතර පෙරමුණ ගෙන ඇත්තේ රවිචන්ද්‍රන් අශ්වින් දෙවැනි ස්ථානයට දමමිනි. දෙවැනි ටෙස්ට් තරගයේදි නොදැවී ලකුණු 182ක් රැස් කළ කමිඳු මෙන්ඩිස් ලොව හොඳම ටෙස්ට් පිතිකරුවන් දසදෙනා අතරට එක් ස්ථානයක් පසුපසින් සිටියි. ඔහු ස්ථාන 5ක් ඉදිරියට එමින් 11 වැනි තැන සිටින්නේ සිය තරග දිවියේ හොඳම ශ්‍රේණිගත කිරීම ලෙස ලකුණු 716ක් සමඟිනි. දිනේෂ් චන්දිමාල් (20) ස්ථාන 6කින් ඇන්ජලෝ මැතිව්ස් (23) ස්ථාන 4කින් සහ කුසල් මෙන්ඩිස් (43) ස්ථාන 8කින් ඉහළ ගොස් තිබේ.