කොළඹ ප්‍රහාරය හමුවේ ගාලු බලාපොරොත්තු බිඳ වැටෙයි

නැෂනල් සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට එක්වීමේ බලාපොරොත්තු අත්හැර ගැනීමට ගාලු කණ්ඩායමට ඊයේ සිදු වූ අතර මූලික වටයේ අවසන් තරගය පරාජය වුවද යාපනය කණ්ඩායමට අවසන් තරගයට එක්වීමේ අවස්ථාව උදා විය.

තරගාවලියේ මූලික වටය නිමා කරමින් ඊයේ පැවති තරගවලින් ගාල්ල කණ්ඩායම කොළඹ පිල හමුවේ ලකුණු 64කින් සහ යාපනය කණ්ඩායම දඹුලු පිල හමුවේ ලකුණු 16කින් (ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව) පරාජයට පත් විය.

යාපනය පිල පරාජය වුවත් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය හිමි කර ගෙන සිටීම හේතුවෙන් කොළඹ කණ්ඩායම සමඟ අවසන් තරගයට එක්වීමේ අවස්ථාව හිමි කර ගත්තේය. දඹුලු පිල ඊයේ ජයග්‍රහණය සමඟ ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයෙන් තරගාවලිය නිමා කළේය.

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තරගයේදී කොළඹ පිල පළමුව පන්දුවට පහර දෙමින් ලකුණු 172ක ඉලක්කයක් ලබා දුන්න ද ඕවර 27.2කදී සියල්ලන් දැවී ගාලු පිලට රැස් කළ හැකි වූයේ ලකුණු 107ක් පමණි. දිලුම් සුදීර කඩුලු 3ක්, චමිඳු විජේසිංහ සහ ප්‍රමෝද් මදුෂාන් කඩුලු 2 බැගින් දවාගත් අතර, ලකුණු 45ක් රැස් කළ රමේෂ් මෙන්ඩිස් ගාලු ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය. කොළඹ පිල වෙනුවෙන් විෂාඩ් රන්දික ලකුණු 36ක් සහ නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 35ක් රැස් කළ අතර, පන්දු යැවීමේදී මුදිත ලක්ෂාන් කඩුලු 4ක්, දුනිත් වෙල්ලාලගේ සහ ළහිරු සමරකෝන් කඩුලු 2 බැඟින් දවා ගත්හ.

හම්බන්තොට පැවති තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් යාපනය දුන් ලකුණු 235ක ඉලක්කය හඹා ගිය දඹුලු පිල ඕවර 42ක් අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 230ක් රැස් කර සිටි අතර, ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ඒ වන විට ජයග්‍රහණය සඳහා ඔවුන් ලබාගත යුතුව තිබුණේ ලකුණු 215ක් පමණි.

නිශාන් මදුෂ්ක සහ සොනාල් දිනූෂ ලකුණු 56ක් බැගින් දඹුලු පිලට එක් කළ අතර, වේගවත් පිතිහරඹයක නිරත වූ වනිඳු හසරංග ලකුණු 62ක් රැස් කළේ හතරේ සහ හයේ පහර 5 බැගින් එල්ල කරමින් පන්දු 35කිනි. පන්දු යැවීමේදී විජයකාන්ත් වියස්කාන්ත් කඩුලු 3ක් සහ ඒෂාන් මාලිංග කඩුලු 2ක් දවා ගත්හ.

යාපනය පිල වෙනුවෙන් හසිත බෝයගොඩ (65) සහ ළහිරු මදුශංක (51) අර්ධ ශතක රැස් කළ අතර, පන්දු යැවීමේදී කසුන් රාජිත කඩුලු 4ක්, ලක්ෂාන් සඳකැන් කඩුලු 3ක් සහ වනිඳු හසරංග කඩුලු 2ක් දවා ගත්හ.

කොළඹට ලකුණු 64ක ජයක්

කොළඹ – 171 (ඕවර 40) විෂාඩ් රන්දික 36, නුවනිඳු ප්‍රනාන්දු 35 (මුදිත ලක්ෂාන් 19/4, දුනිත් වෙල්ලාලගේ 25/2, ළහිරු සමරකෝන් 34/2)

ගාල්ල – 107 (ඕවර 27.2) රමේෂ් මෙන්ඩිස් 45 (දිලුම් සුදීර 25/3, චමිඳු විජේසිංහ 7/2, ප්‍රමෝද් මදුෂාන් 23/2)

දඹුල්ලට

ලකුණු 16ක ජයක්

යාපනය – 234/9 (ඕවර 46) හසිත බෝයගොඩ 65, ළහිරු මදුශංක නොදැවී 51 (කසුන් රාජිත 53/4, ලක්ෂාන් සඳකැන් 33/3, වනිඳු හසරංග 25/2)

දඹුල්ල – 230/8 (ඕවර 42) වනිඳු හසරංග 62, සොනාල් දිනූෂ නොදැවී 56, නිෂාන් මදුෂ්ක 56 (විජයකාන්ත් වියස්කාන්ත් 58/3, ඒෂාන් මාලිංග 25/2)