දරුවන්ට හොඳම දේ දුන්නොත් තමයි අනාගතය අර්ථවත් වෙන්නේ-ගුවන් සේවා චිත්‍ර නිර්මාණ තරගාවලිය හා මාර්ගගත ගුවන් සේවා අධ්‍යාපනික වැඩසටහන අරඹමින් ඇමැති විජිත හේරත් කියයි

මේ රටේ ලක්ෂ සංඛ්‍යාත දරුවන් සිටිනවා ජීවිතයට ගුවන් යානයකට ගොඩවැදී නෑ

ඒ තමයි අපේ රටේ ආර්ථිකයේ විෂමතාව

ගුවන් සිහිනය සැබෑ කිරීමට දරුවන්ට මඟ පෙන්වීමත් මාර්ගය සකසා දීමත් අරමුණයි

අනුග්‍රහය ලබාදෙන්නේ ලේක්හවුස් සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවයි

දරුවන්ට හොඳම දේ ලබාදෙන්නේ නම් අනාගතය අර්ථවත් වන බව ජනමාධ්‍ය, ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා, මහජන ආරක්ෂක, විදේශ කටයුතු, පරිසර, වනජීවී වන සම්පත්, ජලසම්පාදන ඇමැති විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.

වැඩිහිටි ඕනෑම අයකු දරුවන්ගේ අනාගතය ගොඩනැඟීම වෙනුවෙන් විවිධ කාර්යයන් ඉටුකරන බව පැවසූ ඒ මහතා, එහිදී හැමදාම උත්සාහ කරන්නේ හොඳම දේ දරුවන්ට ලබාදීමට බව ද ‘හොඳම දේ දරුවන්ට’ තේමාව විශාල අර්ථයක් සහිතව සමාජයට හඳුන්වාදී තිබෙන බව ද පෙන්වා දුන්නේය.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ලෝක ළමා දිනයට සමගාමීව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පෙරේදා (01) පස්වරුවේ පැවැති දීපව්‍යාප්ත ගුවන් සේවා චිත්‍ර නිර්මාණ තරගාවලිය – 2024 ක්‍රියාත්මක කිරීම සහ සිසුන් 1000ක් වෙනුවෙන් මාර්ගගත ගුවන් සේවා අධ්‍යාපනික වැඩසටහන ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

දීපව්‍යාප්ත ගුවන්සේවා චිත්‍ර නිර්මාණ තරගාවලිය – 2024 ක්‍රියාත්මක කිරීම සහ “ගුවන් සිහිනය” දෙවැනි අදියර මෙලෙස ආරම්භ කෙරුණු අතර ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය එක්ව එය සංවිධාන කරයි. ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක් හවුස්) සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මේ සඳහා සහාය ලබාදෙයි.

එහිදී වැඩිදුරටත් ඇමැති විජිත හේරත් මහතා මෙසේද පැවසීය.

අද ඔක්තෝබර් පළමුවෙනිදා ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටි දිනය සමරනවා. දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ශක්තිමත් තීන්දු තීරණ ගන්න දිනයක්. මට පෞද්ගලිකව මේ දිනය ඓතිහාසික දිනයක්. 2004 වසරේ ඔක්තෝබර් පළමුවැනිදා ජාතික කියවීමේ මාසය නම් කරනු ලැබුවේත් එවකට ඇමැති ධූරය දැරුවේත් මමයි. අපේ රටේ ජාතික සාහිත්‍ය මාසය සැප්තැම්බර් මාසයයි. 2004 දක්වා අපි අනුගමනය කළේ සාහිත්‍ය මාසය සැමරීම. 2004 ඔක්තෝබර් මාසයේ පළමුවැනිදා සිට ජාතික කියවීමේ මාසය වෙන් කර ගැනීම අපේ රටේ සිදු වුණේ. අද හරියටම අවුරුදු 20කට පස්සේ 2024 ඔක්තෝබර් පළමුවෙනිදා නැවත ජාතික කියවීමේ මාසය ආරම්භ කරන ජාත්‍යන්තර ළමා දිනය සහ ජාත්‍යන්තර වැඩිහිටි දිනය සැමරීමට මේ පැවැත්වෙන උත්සවයට සහභාගී වෙන්න මට අවස්ථාව ලැබුණා. අපි කවුරුත් දරුවන්ගේ අනාගතය ගොඩනැඟීම වෙනුවෙන් විවිධ කාර්යභාරයන් ඉටු කරනවා. එහිදී අපි හැමදාම උත්සාහ කරන්නේ හොඳම දේ දරුවන්ට දෙන්නයි. ‘හොඳම දේ දරුවන්ට’ තේමාව විශාල අර්ථයක් සහිතව මේ සමාජයට හඳුන්වාදී තිබෙනවා. අපි හැම වෙලාවෙම උත්සාහ කළ යුත්තේ දරුවන්ට හොඳම දේ දෙන්නයි. දරුවන්ට හොඳම දේ දුන්නොත් තමයි අනාගතයේ විචිත්‍රවත් වන්නේ. අර්ථවත් වෙන්නේ. ඒ අර්ථයෙන් අද මේ සිවිල් ගුවන් සේවා අධිකාරියත් ජාතික රූපවාහිනියත් ඒකාබද්ධව අඛණ්ඩව පවත්වාගෙන ආ මේ වැඩසටහන තවත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යන්න ශක්තිමත් පියවරක් ගෙන තිබෙනවා. ගුවන් සිහිනය සැබෑ කර ගැනීම සඳහා දරුවන්ට මඟ පෙන්වීමත් ඒ සඳහා මාර්ගය පිළිසකර කිරීමත් මෙහි අරමුණ වී තිබෙනවා.

අපේ රටේ ලක්ෂ සංඛ්‍යාත දූ දරුවන් ඉන්නවා ජීවිතයට ගුවන් ගුවන්තොටුපොළට හෝ ගුවන් යානයකට ගොඩවැදී නැහැ. ඒ තමයි අපේ රටේ ආර්ථිකයේ තිබෙන විෂමතාව. ඒ නිසා මෙවැනි වැඩසටහන් හරහා ඈත දුෂ්කර ගම්වල ජීවත්වන දරු දැරියන්ට ගුවන පිළිබඳ අත්දැකීමක් ගන්න අනගි අවස්ථාවක් ලැබෙනවා. ගුවන් සිහිනය කියන එක ඇත්තටම සිහිනයක්. එය සැබෑ කරගත යුතු සිහිනයක්. අපි ගොඩක් සිහින දකින්නේ නිදාගත්තාමයි. ඒ සිහින සැබෑ වන්නේ නැහැ. ඒවා උදේට අමතක වී යනවා. නමුත් මේ සිහිනය සැබෑ කර ගත යුතු සැබෑ කර ගත හැකි සිහිනයක්. ඒ සිහිනය දක්වා යන ගමන සාර්ථක කර ගැනීම තමයි මේ වැඩසටහනේ අරමුණ. ඒ වෙනුවෙන් මේ ආයතන දෙකම එකතු වෙලා මේ කටයුතු සාර්ථක කර ගන්න අවශ්‍ය මැදිහත්වීම සහ මාර්ගෝපදේශය නොපිරිහෙලා ලබාදෙන්න අපි මැදිහත් වෙනවා.

ගුවන් සිහිනය අපට තිබෙනවා වගේම මේ රට පිළිබඳ සිහිනයකුත් අපි හැමෝටම තිබෙනවා. ඒ සිහිනය සැබෑ කර ගැනීමත් අපේ ඉලක්කය වී තිබෙනවා. මේ රටේ ආර්ථිකය,දේශපාලන සංස්කෘතිය නිවැරදි දිසාවට මෙහෙයවීමේ, ශක්තිමත් දිසාවට මෙහෙයුමේ සිහිනය ඔබ අප සියලු දෙනාටම තිබෙනවා. ඒ බලාපොරොත්තුව අප සියලු දෙනාගේම හදවතේ තිබෙනවා. ගුවන් සිහිනය සැබෑ කර ගන්න අපි මේ දරන වෑයම රට පිළිබඳ සිහිනය සැබෑ කර ගැනීමත් ඉලක්ක කරගෙන අපි මේ ගමන යමු. ශ්‍රී ලංකාව කියන මේ පුංචි රට ආසියාවේ ශක්තිමත්ම ආර්ථිකයක් තිබෙන රටක්. සියලු දූ දරුවන්ට ජීවිතයේ සතුටින් තමන්ගේ අනාගත බලාපොරොත්තු සඵල කර ගත හැකි රටක් බිහි කරන්න සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා!.

ප්‍රවාහන හා මහාමාර්ග, වරාය සහ ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා-

අමාත්‍යාංශය වෙනුවෙන් මේ වැඩසටහන පිළිබඳව සුබපැතුම් එක් කරන්න කැමතියි. ගුවන් සේවා ක්ෂේත්‍රයට නිසි ප්‍රවේශයක් නැති දූ දරුවන්ට මේ ක්ෂේත්‍රය පිළිබඳව ආසාවක්, උනන්දුවක්, උද්‍යෝගයක් ඇති කරන්න මේ වැඩසටහන ඉවහල් වෙනවා. මේ ක්ෂේත්‍රය තුළ අනාගතයේ සේවා නියුක්තියක් ඇති කර ගැනීමට වගේම වඩා හොඳ ජීවිතයක් ගත කරන්න මේ වැඩසටහන ඉවහල් වෙයි. මේ දැනුම ආශාව සහ ඕනෑකම ඇති කර ගන්නත් මේ වැඩසටහන මහඟු අවස්ථාවක් වෙයි යනුවෙන් පැවසීය.

අනාගත ගුවන් සේවාව අපේ ඇසින් යන තේමාව යටතේ පාසල් අංශයේ කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ, උසස් අධ්‍යාපන හා විවෘත යන කාණ්ඩ 4ක් යටතේ මේ තරගාවලිය පැවැත්වෙන අතර නොවැම්බර් මස 01 දිනට ප්‍රථම තැපැල් මඟින් හෝ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය වෙත ගෙනැවිත් භාරදිය යුතුය. මේ අතර ජාතික රූපවාහිනිය සහ සිවිල් ගුවන් සේවා අධිකාරිය එක්ව සංවිධාන කරන දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට සහභාගි විය හැකි පරිදි සංවිධාන කරන ගුවන් සිහිනය මාසික ගුවන්තොටුපොළ ගුවන් සේවා වැඩමුළු මාලාවේ දෙවන අදියර සඳහා ගිවිසුමට එළඹීම ද මෙහිදී සිදුවූ අතර සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිෂ් මාර්ෂල් සාගර කොටකදෙණිය සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් එල්.එම්.කේ. දසනායක මහත්වරු ඊට අත්සන් කළහ.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියරත්න, සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිෂ් මාර්ෂල් සාගර කොටකදෙණිය, ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (දැන්වීම්) චින්තක ප්‍රසන්න යාපා මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.