අප්‍රේල් වෙනකම් තෙල් තියෙනවා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සැලසුම් කර, ඉන්ධන සඳහා අවශ්‍ය සියලුම ඇණවුම් ලබාදී ඇති බැවින් ලබන වසරේ අප්‍රේල් මාසය දක්වා ඉන්ධන හිඟයක් ඇති නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. කරුණාරත්න මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියාසිටියේ ප්‍රමාණවත් ඉන්ධන තොග පවත්වාගෙන යෑමේ ඉදිරි සැලසුම් සතිපතා සැලසුම් කරන බවය.

ඉන්ධන මිල සංශෝධන පිළිබඳ තීරණ වඩාත් විනිවිදභාවයෙන් සිදුකිරීම සහතික කිරීම සඳහා නියාමන කොමිෂන් සභාව වෙත භාරදීමට බලාපොරොත්තු වන බවද සභාපතිවරයා පවසා සිටියේය.

“වඩාත් කාර්යක්ෂම ඉන්ධන සැපයුමක් සඳහා පිරිපහදු අංශය දියුණු කිරීම සංස්ථාවේ අරමුණයි. මෑතකාලීන ඉන්ධන මිල සංශෝධනය දැනට පවතින මිල සූත්‍රයට අනුව සිදු කර තිබෙනවා. මහජනතාවට වැඩි සහන ලබාදීම සඳහා මිල සූත්‍රය වැඩිදියුණු කිරීමට සංස්ථාව සැලසුම් කරනවා”

“වෙනත් පාර්ශ්ව විසින් ආනයනය කරන ඉන්ධන තොග සඳහා ඉන්ධන මිල අඩු කළ නොහැකියි. ඒ වගේම නව රජය බලයට පත්වී කෙටි කාලයක් තුළ විශාල ඉන්ධන සහන ලබාදීම කළ නොහැකියි.පසුගියදා ඉන්ධන මිල සංශෝධනය කළේ පවතින සූත්‍රයට අනුව සහ නීත්‍යානුකූලවයි”