ආසියානු සංවර්ධන බැංකුවේ තනතුරකට රනිල්ගේ නම යෝජනා වූ බව කීම බොරු-හිටපු පා.ම. අශෝක් අබේසිංහ

ආසියානු සංවර්ධන බැංකුවේ තනතුරක් සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ නම යෝජනා වූවායැයි කීම අමූලික බොරුවක් බව ඔප්පු වී ඇතැයි ආසියානු සංවර්ධන බැංකුවේ නිවේදනයෙන් තහවුරු වී ඇති බවත්, වෙනෙකක් තබා ඔහුට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයා ලෙස රැඳී සිටීමට එවැනි තනතුරක් එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාවේ නැති බවත් සමඟි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව පැවසුවේ කුරුණෑගලදී ඊයේ (1) පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා:

“පැවති රජයන්වල දූෂණ අක්‍රමිකතා පිළිබඳ ජාතික ජන බලවේගයත් සමඟි ජන බලවේගයත් පෙන්වා දුන් කරුණු ජනතාව බහුතරය පිළිගෙන තිබෙනවා. ඒ අතරින් ජාතික ජන බලවේගය ඉදිරිපත් කළ කරුණු නිසා ඔවුන් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ රජයක් පිහිටුවාගෙන තිබෙනවා. ‍වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ වැඩපිළිවෙළේ සමාජයට යහපතක් වන වැඩවලට සහයෝගය දෙන්නත් අනෙකුත් දේ සම්බන්ධව උපදෙස් දීම සහ ඒ පිළිබඳව කතා කරන්නත් අප පෙනී සිටිනවා.

“එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභා වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ පවුල් ලක්ෂ තිහක් පමණ මන්ද පෝෂණයෙන් පෙළෙනවා. වැඩි දෙනකුගේ වියදම සියයට අනූපහකින් පමණ ඉහළ ගොස් ඇති බැවින් ජනතාව මුහුණ දී සිටින ආර්ථික ගැටලුවට විසඳුමක් දෙන ලෙස අප වත්මන් රජයෙන් ඉල්ලා සිටිනවා.”