නැටුම්-ගැයුම්-මාල්මාලා සංදර්ශන නැතිව මිලියන 730ක ක්‍රීඩා පහසුකම් ජනතා අයිතියට-අමාත්‍යාංශයේ කෝටි ගණන් වියදම් විගණනය කරයි

ක්‍රීඩා ඇමැතිනි, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ක්‍රීඩා අමාත්‍යංශයේ අංශ ප්‍රධානීන් සමඟ සාකච්ඡා කළ අයුරු. අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් කේ. මහේෂන් යන මහත්වරු ද සිටිති.

රුපියල් මිලියන 730ක් වැය කොට ඉදිකළ ක්‍රීඩා පහසුකම් 5ක් උත්සව හා විශේෂ පිළිගැනීම්වලින් තොරව ජනතා අයිතියට පවරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් වහාම විවෘත කරන ලෙස ක්‍රීඩා ඇමැතිනි, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය රියර් අද්මිරාල් ෂෙමාල් ප්‍රනාන්දු මහතා වෙත උපදෙස් ලබාදෙයි. ඒ අනුව හෙට (1 දා) සිට මේ සියලු ක්‍රීඩා පහසුකම් විවෘත බව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා ‘දිනමිණ’ කළ විමසුමකදී පැවසීය.

මේ අතර ක්‍රීඩා අමාත්‍යා‍ංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් සිදු කරන ලෙසත්, උත්සව පැවැත්වීම වෙනුවෙන් අනවශ්‍ය මුදල් හා රාජ්‍ය සම්පත් නාස්තිය වහා නැවැත්විය යුතු බවත්, ක්‍රීඩා අංශවල සිදු වන අපයෝජන සහ හිංසා වැළැක්වීමේ කඩිනම් වැඩපිළිවෙළක් කෙරෙහි අවධානය යොමු කළ යුතු බවත් හරිනි අමරසූරිය මෙනවිය ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන්ට දැනුම් දුන්නාය.

ක්‍රීඩා අමාත්‍යා‍ංශයේ ප්‍රතිපාදන වියදම් කිරීම පිළිබඳ සංඛ්‍යා ලේඛන පැවතිය ද එහි ප්‍රගතිය සම්බන්ධයෙන් නිසි විගණනයක් අවශ්‍ය බවත් කඩිනමින් අභ්‍යන්තර විගණනයක් සිදු කරන ලෙසත් ඇය උපදෙස් ලබා දුන්නාය.

රුපියල් මිලියන 175 බැගින් වැයකොට ප්‍රතිසංස්කරණය කරන ලද ටොරින්ටන් කෘත්‍රිම හොකී පිටිය හා මාතලේ කෘත්‍රිම හොකී පිටිය, රුපියල් මිලියන 100ක වියදමින් අලුතින් නිම කරන ලද බිංගිරිය ක්‍රීඩා සංකීර්ණයේ මීටර් 50 පිහිනුම් තටාකය, රුපියල් මිලියන 220ක් වැය කොට ඉදිකළ ඕමන්තේ පිහිටි ක්‍රීඩා ගෘහස්ථ ක්‍රීඩා මධ්‍යස්ථානය හා රුපියල් මිලියන 60ක් වැය කොට ඉදිකළ එම ක්‍රීඩා සංකීර්ණයේ මීටර් 25 පිහිනුම් තටාකය විවෘතව තැබීමට නියමිතය.

පසුගිය මාස දෙකක කාලයකදී මේ සියලු ව්‍යාපෘති නිමකර තිබුණ ද, විවිධ හේතු මත විවෘත කිරීමට කටයුතු යොදා නොතිබිණි. මේ පිළිබඳ අවධානය යොමු කළ ක්‍රීඩා ඇමැතිවරිය නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ රටපුරා සිටින පාසල් සිසු සිසුවියන්ට ප්‍රමුඛතාව ලැබෙන පරිදි කඩිනමින් විවෘත කිරීමට පියවර ගන්නා ලෙසයි. එමෙන්ම මේ ව්‍යාපෘති ඉහළම ප්‍රමිතියෙන් පවත්වාගෙන යාමට සහ අනාගත පරපුරට ඒවා සුරක්ෂිත කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළක් ද සකසන ලෙස දැනුම්දී තිබේ.

ටොරින්ටන් කෘත්‍රිම නිල් පැහැති හොකී පිටිය පැරිස් නගරයේ පැවති ඔලිම්පික් තරගාවලියේදී භාවිත කළ ප්‍රමිතියෙන් යුත් එකක් වන අතර, එහි ඉදි කිරීමට පමණක් රුපියල් මිලියන 175ක වියදමක් රජය විසින් දැරීය. අනෙකුත් ක්‍රීඩා පහසුකම් 4 සඳහා ද රුපියල් මිලියන ගණනක වියදමක් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා සිදු කළේය.