රනිල් වික්‍රමසිංහ ආණ්ඩු සමයේ මත්පැන් අලෙවිසල් මාෆියාවක් සියලු විස්තර ළඟදීම හෙළිකරනවා-වසන්ත සමරසිංහ

රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය සමයේ සිදුවූ මත්පැන් අලෙවිසල් මාෆියාව පිළිබඳ ඉදිරියේදී රටට හෙළිදරව් කරන බවත් ඒ සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත් ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් නායක වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේය.

ජනතාවට දරාගත නොහැකි රටක් නිර්මාණය කිරීම හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව බිඳවැටුණ ද ඉදිරි මැතිවරණයෙන් වැඩි බලයක් ලබා ගනිමින් රට හදන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් ජනාධිපතිවරණය ජයග්‍රහණය වෙනුවෙන් සහයෝගය ලබා නොදුන් ජනතාව ද ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලබාදීම වෙනුවෙන් සහාය ලබාදීමට අත්වැල් බැඳගනිමින් සිටින මොහොතක ඊට බියෙන් වෙන වෙනම තරග කළ විපක්ෂ කණ්ඩායම් එකට එකතු වී මහමැතිවරණයට ඉදිරිපත් වීමට සූදානමක් පවතින බව ද වසන්ත සමරසිංහ මහතා පැවසීය.

වසන්ත සමරසිංහ මහතා මේ බව කියා සිටියේ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් මෙසේ ද පැවසීය.

ජනතාවට සහන ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෝ ලෝක බැංකුව නොව පැවති රජයේ ගැටලුව බවත් මාලිමාව විසින් හොරු ඇල්ලීමට සූදානම් වන විට හොරුන් බියට පත්ව ඇති අතර මහ බැංකු බැඳුම්කර වංචාව, විශ්‍රාම වැටුප් අරමුදල කොල්ලකෑම හා මහජන මුදල් කොල්ලකෑ අමාත්‍යවරුන් හා පාස්කු ප්‍රහාරය ඇති කළ අපරාධකරුවන්ටත් එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා. ජාතික ජන බලවේගය ඇමැතිවරුන්ට කොමිස් නැති හෙයින් බිත්තර මිල ද පහත වැටුණු බවත් ඉදිරියේදී අත්‍යවශ්‍ය භාණ්ඩ ගණනාවක ද මිල පහත වැටෙන බව ද පැවසීය.

වැඩහිටි කන්දේ මත්පැන් අලෙවිසල සම්බන්ධයෙන්ද අදහස් දක්වමින් වසන්ත සමරසිංහ මහතා කියා සිටියේ මත්පැන් අලෙවිසල් විසි නවයක් ලබා ගැනීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව හරහා රුපියල් ලක්ෂ දෙසීය බැගින් ලබාගෙන රජයට අය විය යුතු මුදල් ලබා නොදී ඇති බවත් මේ සඳහා රනිල් වික්‍රමසිංහ මහතා පමණක් නොව සජිත් ප්‍රේමදාස මහතා ද ඊට හවුල් වී ඇති අතර මෙම මත්පැන් අලෙවිසල් මාෆියාව පිළිබඳ ඉදිරියේදී රටට හෙළිදරව් කරන බවත් වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.