අපේ වරිගයේ ප්‍රශ්නවලටත් ජනපතිගේ අවධානය යොමු වෙයි කියා බලාපොරොත්තු වෙනවා-ඌරුවරිගේ වන්නිලැත්තෝ කියති

අලුතින් මේ රටේ පාලනයට පත්වෙච්ච අලුත් ජනාධිපතිවරයකු මේ වන විට පත් වෙලා ඉන්නවා. එතුමන් අලුත් ජනාධිපති කෙනෙක්, අලුත් ආණ්ඩුවක් පත් කරගෙන තියෙනවා. මුලින්ම අපේ වරිගයේ හැටියට මම අලුත් ජනාධිපතිතුමන්ට හා අලුත් ආණ්ඩුවටත් ආණ්ඩුවේ පත් වෙලා ඉන්න මැතිඇමැතිවරුන් සෑම දෙනාටම පරම්පරාවේ නායකයා හැටියට සුබපැතුම් එක් කරනවා“ යැයි ආදිවාසි නායක විශ්ව කීර්ති වනස්පති ඌරුවරිගේ වන්නිලැත්තෝ පසුගියදා (27) සවස මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසූහ.

වන්නිලැඇත්තෝ වැඩිදුරටත් මෙසේද පැවසූහ.

“මේ රටේ කාලෙන් කාලෙට ආණ්ඩු පත් වුණා. ඒ පත්වෙච්ච හැම ආණ්ඩුවකටම අපේ වරිගයට පරම්පරාවට තිබෙන ප්‍රශ්න ගැටලු පිළිබඳ මම ඒ අයත් එක්ක කතා කරලා තියෙනවා. කාලයක් තිස්සේ ඒ ගැන කතා කරලා කතා කරලා පසුගිය ඡන්දේ කිට්ටු වෙද්දී අපේ ප්‍රශ්න ගැන, අපේ ප්‍රශ්නවලට නීති රීති රෙගුලාසි අලුතෙන් සකස් කරලා පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කරලා තියෙනවා පසුගිය රජයෙන්. ඒ දවස්වල එහෙම ඉදිරිපත් කළාට, මේ අලුතින් පත්වෙච්ච ආණ්ඩුවේ කිසි කෙනෙක් ඒ පිළිබඳ දැනුවත්භාවයක් නෑ. මම විශ්වාස කරනවා, දැන් අලුතින් පත් වෙලා ඉන්න ජනාධිපතිවරයා සිදු කළ මුල්ම කතාවෙත් කිව්වා, මේ රටේ ජීවත් වෙන සියලු ජාතීන්වලට තිබෙන ගැටලු ප්‍රශ්න ගැන අවධානය යොමු කරලා ඒවාට විසඳුම් ඉදිරිපත් කරනවා කියලා.

අපේ පරම්පරාවේ වරිගයේ අය දිස්ත්‍රික්ක 06ක මේ වන විට ජීවත් වෙනවා. ඒ කණ්ඩායම්වලට එක එක ප්‍රශ්න තිබෙනවා. ඒ හැම එකක් පිළිබඳව මම තිබුණු සෑම ආණ්ඩුවක්ම දැනුම්වත් කරලා තියෙනවා. ඒ ඉදිරිපත් කරපු ගැටලුවලින් තාමත් විසඳුම් නොලැබුණු ඒවා තියෙනවා. සමහර ගම්වලට වනජීවී ප්‍රශ්න, සමහර ගම්වලට වන සංරක්ෂණ ගැටලු, සමහර ගම්වලට වෙරළාරක්ෂක ගැටලු. මම බලාපොරොත්තු වෙනවා මේ රටේ පාලනය භාර ගත්ත අලුත් ජනාධිපතිවරයා ඒවා ගැන අවධානය යොමු කරයි කියලා.