ජනපතිට සහයෝගය දක්වන්න පාලන මිලට සහල් දෙන්න තීරණය කළා-අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන

බලයට පත් නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ වැඩපිළිවෙළට ශක්තියක් හා සහයෝගයක් ලබාදීම වශයෙන් තමා ඇතුළු සියලු සහල් ව්‍යාපාරිකයන් සෑම සහල් වර්ගයක්ම පාලන මිලට ලබාදීමට තීරණය කළ බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පැවසීය.

පාලන මිලට සහල් දීලවත් ගොවියන්ට පොහොර සහනාධාරය දීලවත් රට ආර්ථික වශයෙන් ගොඩගත නොහැකි බවත් පක්ෂ විපක්ෂ සියලු දෙනාම එකතු වී ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළට සහයෝගය ලබාදිය යුතු බවත් තමා ව්‍යාපාරිකයකු වශයෙන් ඇති වෙන්න හරි, නැති වෙන්න හරි, සමාජ වගකීමක් ලෙස තමාට ශක්තිය තියෙන අවසන් කාලයේ කළ හැකි උපරිම සහයෝගය ජනාධිපතිවරයා වෙත ලබාදෙන බව ද ඩඩ්ලි සිරිසේන මහතා කීය.

පොලොන්නරුව සුදු අරලිය හෝටලයේදී පෙරේදා (28) පෙරවරුවේ, කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමින් ඩඩ්ලි සිරිසේන මහතා ඒ බව කීවේය.

මේ රට වැටිලා තියෙන තත්ත්වයෙන් ගොඩගන්න ජනාධිපතිවරයාට පමණක් බැහැ. මේ රටේ පක්ෂ ඔක්කොම එකතු වුණත් අමාරුයි. අප සියලු දෙනාගේම කැපවීම, උනන්දුව, එකමුතුකම තිබුණොත් පමණයි මේ රට ගොඩගන්න හැකියාව තිබෙන්නේ යැයිද ඩඩ්ලි සිරිසේන මහතා මෙහිදී සඳහන් කළේය.

ඩඩ්ලි සිරිසේන මහතා මෙසේ ද කීය.

”මේ කන්නයේ ප්‍රමාණයටත් වඩා කීරි සම්බා වගා කරලා තියෙනවා. නාඩු එතරම් වගා කරලා නැහැ. මේ කන්නයේ කීරි සම්බා වගා කරලා තියෙන ප්‍රමාණය සීයට හැට අටක්. එතකොට මිල බහිනවා. ඊළඟ කන්නයේ වගා කරල තියෙන්නෙ සියයට දහයක්. එතකොට මිල වැඩි වුණා. ඉතින් ඒ වගා කරන ප්‍රමාණය අනුව ඒ ඒ වී වල මිල අඩු වැඩි වශයෙන් මිල බහිනවා, මිල ඉහළ යනවා. ඕකයි වී වගාවේ තත්ත්වය. මේකට විකල්පයක් ලෙස වී වගා කරන වැඩපිළිවෙළක් පිළිබඳ ගොවියන් දැනුවත් කළ යුතුයි. මේ වී වල මිල ප්‍රශ්නය එතකොට සියයට හැත්ත පහක්ම විසඳන්න පුළුවන්. කෙනෙක් අහන්න පුළුවන් දැන්ද ඔයාට ඕක මතක් වුණේ කියලා, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාත් වී නිෂ්පාදනය වැඩි කරන්න වැඩපිළිවෙළක් හදලා තිබුණා. මේකට කෘෂිකර්ම ඇමැතිව සම්බන්ධ කරලා තිබුණේ නැහැ, වී සම්බන්ධ වගකීම තිබු‍ණේ මට. මේකෙදි මම කිව්වා ගොවියෝ වී වගා කරද්දී එක එක වී වර්ග කුඹුර තුළ වගා කළ යුතුයි කියලා. නමුත් ඒ කාර්ය වුණේ නැහැ. මම බිත්තර වී අලෙවි කරනවා. මම යම් කළමනාකරණයකින් තමයි ඒ කටයුතු කරන්නේ, මේ දවස්වල නාඩු බිත්තර වී තමා වැඩියෙන් විකිණෙන්නේ.

පහුගිය රජය අපට නාඩු වී ගන්න නියම කළේ රුපියල් 105ටයි. සම්බා වී වලට රුපියල් 120යි. කීරී සම්බාවලට රුපියල් 130යි, නමුත් අද වන විට අප කීරි සම්බා වී ගන්නේ 130ට. අද අප නාඩු වී 120ට අරන් ව්‍යාපාරිකයන් වශයෙන් නාඩු හාල් කිලෝවක් රු. 220ට දෙන්න අපහසුයි. ඉතින් එහෙම තත්ත්වයක් යටතේ මම සිරිපාල ගම්ලත් මහතාටත් මිත්‍රපාල ලංකේෂ්වර මහතාටත් ඒ වගේම සමස්ත ලංකා වී මෝල් සංගමයේ සභාපති මරඳගහමුල රංජිත් මහතාටත් කතා කරලා එකඟ කරගත්තා අප පාලන මිලට හාල් දෙමු කියලා. ඒ අය කිව්වේ මේ මිලට වී අරන් පාලන මිලට සහල් දෙන්න බෑ කියලා. නමුත් අප සමාජ වගකීමක් ලෙස පත්වුණු නව ජනාධිපතිවරයාට සහයෝගයක් වශයෙන් මේ දේ කරන්නේ, ඉතින් ජනතාව අපට චෝදනා කරනවා වී හංගන් ඉඳලා වැඩි මිලට හාල් දෙනවා කියලා.

මෙම අවස්ථාවට, පොලොන්නරුව ඉසිපතනාරාමාධිපති උඩගම ධම්මානන්ද, කදුරුවෙල ජයන්ති විහාරාධිපති කදුරුවෙල ධම්මපාල, දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර යන නාහිමියන් වහන්සේ ප්‍රමුඛ සංඝරත්නය මෙන්ම පරාක්‍රම සමුද්‍ර ගොවිජන ව්‍යාපාරයේ සභාපති ජගත් අරුණ කීර්ති මහතා ඇතුළු පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි සංවිධාන නියෝජිතයෝ රැසක් සහභාගි වී සිටියහ.