සා.පෙළ ප්‍රථමයා ගාල්ල සංඝමිත්තාවේ හිරුණි මල්ෂා-මියුසියස් විද්‍යාලයේ කුළුණි මලියදේව බාලිකාවේ විමංසා දෙවැනි ස්ථාන ලබති

නැවත සමීක්ෂණ අයැදුම් හෙට සිට

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2024 (2023) විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම පෙරේදා (28) සිදුකෙරිණි. මෙම විභාගයේ නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම හෙට (01) සිට 14 වැනිදා දක්වා සිදු කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවැසීය. මෙම විභාගයට අයදුම්කරුවන් 452,979ක් පෙනී සිටි අතර පාසල් අයදුම්කරුවන් 387,648ක් ද, පෞද්ගලික අයදුම්කරුවන් 65,331ක් ද ඒ අතර විය. www.doenets.lk හෝ www.results.exams.gov.lk මඟින් විභාග ප්‍රතිඵල ලබා ගත හැකිය. රට පුරා විභාග මධ්‍යස්ථාන 3525ක් පැවැති අතර සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 535ක් පැවැතිණි.

මෙම විභාගයෙන් ප්‍රථම ස්ථාන ගත් එක් සිසුවියක්, දෙවන ස්ථාන සම ලකුණු ගත් 2ක්, සිව්වැනි ස්ථාන සම ලකුණු ගත් 3ක් හා සත්වන ස්ථාන සම ලකුණු ගත් 4ක් සිටිති.

ප්‍රථම ස්ථානය ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල්ෂා කුමාරතුංග, දෙවන ස්ථාන (2) කොළඹ මියුසියස් විද්‍යාලයේ කුළුණි මෙත්සරා, කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ විමංසා ජයනදී රත්නවීර, සිව්වැනි ස්ථාන (3) කොළඹ විශාකා බාලිකා විද්‍යාලයේ සෙශානි සෙහංසා ජයවර්ධන, නුගේගොඩ අනුලා විද්‍යාලයේ මෙතුකි චමෝදි පෙරේරා, ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ නදුන් පමුදිතා රණවක, හත්වැනි ස්ථාන (4) නුගේගොඩ අනුලා විද්‍යාලයේ නෙම්දිනී වොනාරා අධිකාරි, ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ තත්සරා කාවින්දි, පානදුර ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලයේ තමාෂි ධනංජනා වික්‍රමගේ, මාතර රාහුල විද්‍යාලයේ සකුණ සදීශාන් සමරවික්‍රම සිසු සිසුවියන් හිමි කර ගත්හ.

දේශීය හා විදේශීය භාවිතය සඳහා මෙම විභාගයේ සහතික පත්‍ර හෙට (01) සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම් කිරීමට පහසුකම් ද විභාග දෙපාර්තමේන්තුව සලසා ඇත.

සාමාන්‍ය පෙළ විභාගයට පළමුවරට පෙනී සිටි සිසුන් 332,537න් 244,228ක් උසස් පෙළට සුදුසුකම් ලබා ඇති බවත් එය ප්‍රතිශතයක් සියයට 75.72 ක් බවත් විභාග කොමසාරිස්වරයා පැවසුවේය.

සියලුම විෂයන් අසමත් ප්‍රතිශතය සියයට 2.12 ක් බවත් ඒ මහතා කීය.