ලොව හොඳම විද්‍යාඥයන් සියයට 2 අතරට ශ්‍රී ලාංකිකයෝ 38ක්

අමෙරිකාවේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය වාර්ෂිකව ප්‍රකාශයට පත් කරන ‘ලොව හොඳම විද්‍යාඥයන්’ සියයට 2 අතරට මෙරට උසස් අධ්‍යාපන ආයතන සහ පර්යේෂණ ආයතන 14ක් නියෝජනය කරන ශ්‍රී ලාංකිකයෝ 38 දෙනෙක් තේරී පත්ව සිටිති.

එම ශ්‍රී ලාංකිකයන් 38 දෙනා අතරින් 9 දෙනකු කොළඹ විශ්වවිද්‍යාලය නියෝජනය කරන අතර, බහුතරය වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රය නියෝජනය කරන පර්යේෂකයෝ වෙති.

එම නව දෙනා වෛද්‍ය විද්‍යා පර්යේෂකයන් වන සරෝජ් ජයසිංහ, චන්න ජයසුමන, රනිල් ජයවර්ධන, සේනක රාජපක්ෂ, සමත් ධර්මරත්න, සෑම් කුලරත්න, මොහාන් මුණසිංහ, කමනි මෙන්ඩිස්, අර්ජුන මැදගම මහාචාර්යවරුන්ය. එමෙන්ම මහාචාර්ය චන්න ජයසුමන අඛණ්ඩව වසර 4ක් මේ ලැයිස්තුවට ඇතුළත්වීම විශේෂත්වයකි.

අමෙරිකාවේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය එල් සිවයර් විද්‍යා ප්‍රකාශකයන් සමඟ එක්ව මේ ශ්‍රේණිගත කිරීම් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරනු ලබන්නේ එක් එක් ක්ෂේත්‍රවල ගෝලීය වශයෙන් වෙනසක් ඇති කළ පර්යේෂකයන්ට පිළිගැනීමක් ලබාදීමටය.

මේ වසරේ ශ්‍රේණිගත කිරීම් ඉකුත් 17දා ප්‍රකාශයට පත් කළ අතර, ඔවුන් විද්‍යාත්මක ක්ෂේත්‍ර 22ක උප ක්ෂේත්‍ර 174ක් නියෝජනය කරන විද්‍යාඥයෝ 2,23,252ක පිරිසක් ඇතුළත්ව සිටිති. ලොව හොඳම විද්‍යාඥයන් සියයට 2 අතරට පසුගිය වසරේ ලාංකිකයන් 42ක් තේරී පත් වූ අතර මෙවර එම සංඛ්‍යාව 38 දක්වා පහත බැස ඇත.

එමෙන්ම ඉන්දියාවේ 5,352ක්. ලොව හොඳම විද්‍යාඥයන් සියයට 2 අතරට තේරී පත්ව ඇති අතර, එය පසුගිය වසරට සාපේක්ෂව 717 වැඩිවීමකි. එසේම බංග්ලාදේශයේ 205 දෙනෙක් ද මේ වසරේ එම ශ්‍රේණිගත කිරීමට ඇතුළත්ව ඇත.