තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම ඔක්තෝබර් 7 දක්වා

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම සැප්තැම්බර් 30 සිට ඔක්තෝබර් 07දා දක්වා සිදු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

මෙම මැතිවරණයේදීද 2024 ඡන්ද හිමි නාමලේඛන භාවිත කරන බැවින් ජනාධිපතිවරණට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් ඉදිරිපත් කළ සියලු දෙනාට නැවතත් මෙම මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් ඉදිරිපත් කිරීම අනවශ්‍ය බවද ඒ මහතා පැවැසීය.

කොළඹදී ඊයේ (26) පෙරවරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් හෙතෙම මේ බව කීවේය.

මේ මැතිවරණයේදී පහුගිය ඡන්ද හිමි නාමලේඛන භාවිත කරන බැවින් ඊට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් ඉදිරිපත් කළ සියලුම අය සඳහා නැවත තැපැල් ඡන්ද අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒ තැපැල් ඡන්ද අයදුම්කරුවන්ට අදාළ සියලුම දත්ත කොමිසම සතුව තිබෙනවා. පසුගිය ජනාධිපතිවරණය සඳහා ඔබ ඉදිරිපත් කළ තැපැල් ඡන්ද අයදුම්පත මොනයම් හෝ කාරණාවක් හෝ නිසා ප්‍රතික්ෂේප වී තිබුණා නම් ඒ ප්‍රතික්ෂේප වීමට අදාළ කාරණාව නිවැරදි කරලා නැවත තැපැල් ඡන්ද අයදුම් පතක් ඉදිරිපත් කළ යුතුයි. ඒ කියන්නේ ගියවර තැපැල් ඡන්ද අයදුම් පත්‍ර ප්‍රතික්ෂේප වූ අයදුම්කරුවන් පමණක් නැවත අයදුම් කරන්න සිදුවෙනවා. ඒ වගේම පසුගිය ජනාධිපතිවරණයේදී ඔබ යම් ලෙසකින් තැපැල් ඡන්ද අයදුම් පතක් ඉදිරිපත් නොකරම සිටියා නම් ඒත් ඔබ මැතිවරණ රාජකාරී සඳහා යොදවා ගැනීමට අපේක්ෂිත සේවා කාණ්ඩයක සිටිනවා නම් ඔවුනටත් නැවත තැපැල් ඡන්ද අයදුම් පතක් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබෙනවා.

විශේෂයෙන් අපි ඉල්ලා සිටිනවා සහතික කිරීමේ නිලධාරීවරුන්ගෙන් මේ සම්බන්ධයෙන් අපි ඔවුන්ට ලිඛිතව දැනුම් දීමක් කරනවා ඊට අදාළව සහතික කරන නිලධාරියා විසින් සහතික කරන ලද ඡන්දදායකයින්ගේ ස්ථාන මාරුවීම් විශ්‍රාමයාම හෝ වෙනත් මිය යාමේ කාරණා තුළ ඉවත්වූ සහ අලුතින් පැමිණි අයට අදාළ තොරතුරු අපට ලබාගැනීම සඳහා අදාළ දිස්ත්‍රික්කවල අපේ සහකාර තේරීම් භාර නිලධාරීන් විසින් කටයුතු කරනු ලබයි.

පාර්ලිමේන්තු මැතිවරණ කටයුතු ආරම්භ වීමත් සමඟම පසුගිය ජනාධිපතිවරණයේ දී අනුගමනය කරපු නීතිරීති රාමුව තුළ ඒ ආකාරයෙන්ම වලංගු වේ.

2024 ඡන්දහිමි නාමලේඛන අදාළ ඡන්ද දායකයින් 1,714,354ක් නොවැම්බර් මස 14 දින ඡන්දය පාවිච්චි කිරීමට සුදුසුකම් ලබයි.

මෙවර අපොස උසස් පෙළ සඳහා පෙනී සිටින ආදරණීය දුවා දරුවන්ගේ ඒ අවශ්‍යතාවය පිළිබඳව සලකා බලමින් අපිට මැතිවරණ කොමිෂන් සභාව විදිහට අපට ලැබී තිබෙන්නේ අවම කාලයක් තුළ මේ මැතිවරණය පැවැත්වීමට අපට සිදු වී තිබෙනවා යැයිද හෙතෙම සඳහන් කළේය.