රාජ්‍ය දේපළක් අවභාවිත වී තිබේ නම් සන්දර්ශන නොපවත්වා රටට කියන්න-හිටපු පා.ම. සංජීව එදිරිමාන්න

කිසියම් තැනක රාජ්‍ය දේපළක්, රාජ්‍ය සම්පතක් අවභාවිතයට ලක්ව තිබේ නම් සන්දර්ශන නොපවත්වා එය රටට අනාවරණය කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා වත්මන් ආණ්ඩුවට අභියෝග කරයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ බත්තරමුල්ලේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී ඊයේ (26) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා:

“පළමුව වර්තමාන ජනාධිපතිතුමා හා අග්‍රාමාත්‍යතුමිය ඇතුළු ආණ්ඩුවට සුබ පතනවා. අප දකිනවා අලුත් ආණ්ඩුව බලයට පත් වීමත් සමඟ රටේ ප්‍රධාන ප්‍රවෘත්තිය බවට පත්වෙලා තිබෙන්නේ වසන්ත සමරසිංහ හිටපු මන්ත්‍රිතුමා වාහන රජ දැක්ම ඉහළින් පෙන්නීම. කිසියම් තැනක රාජ්‍ය දේපළක්, රාජ්‍ය සම්පතක් අවභාවිතයට ලක්ව තිබෙනවා නම් එය රටට අනාවරණය කිරීම පිළිබඳ ගැටලුවක් නැහැ. ඒත් අප මෙය දකින්නේ එක්තරා විදිහක සන්දර්ශනයක් විදිහටයි. කවුරු හරි මනුස්සයෙක් ආණ්ඩුවේ වාහනයක් අයථා ලෙස භාවිත කළා නම් ඒ අය රටට අනාවරණය කරන්න. හැබැයි ආණ්ඩුවක් පෙරළුණාම කිසියම් තනතුරක් දරන කෙනකු තම තනතුරට හිමි වාහනය නැවත ආණ්ඩුවට භාර දුන්නාම ඒ රථවාහන ගෝල්ෆේස් එකේ පේළියට පෙගස්වලා එය සන්දර්ශනයක් කරන එක වැරදියි.

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වැනි සමාලෝචනය සිදු වීමට නියමිතයි. අනුර කුමාර ජනාධිපතිවරයා මේ පිළිබඳ සූදානමකද ඉන්නේ? ඒ වගේම ඔවුන් කතා කළ ජනතා සහන රැසක් තිබෙනවා. ඒ සහන ලැබෙන්නේ කවදාද? ඒ වගේම ආණ්ඩුවට මේ රටේ තිබෙන ආර්ථිකය ප්‍රසාරණය කිරීම සඳහා තිබෙන වැඩපිළිවෙළ කුමක්ද? මේ අවස්ථාවේ මේ පිළිබඳවයි රටට අනාවරණය කළ යුතු වන්නේ.

“මේ මැතිවරණය පැහැදිලි ලෙසම විරෝධාකල්ප ඡන්දයක්. විරෝධාකල්පයෙන් බලයට පැමිණියාම කෙටි කාලයකින් දේශපාලන තත්ත්වයන් වෙනස් වනවා. ඒ විරෝධාකල්ප ඡන්දය පවත්වාගෙන යන්න තමයි රථවාහන සන්දර්ශනය තිබ්බේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒ එළඹෙන මහ මැතිවරණයට නිසැක වශයෙන්ම තරග කරනවා. එහි ප්‍රතිඵලය මීට වඩා හාත්පසින්ම වෙනස් වෙනවා.”