ජනපති ගන්නා තීන්දු කුහකකමින් විවේචනය නොකර සහාය දෙනවා- හිටපු ඇමැති මහින්ද අමරවීර

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා වශයෙන් ගනු ලබන තීන්දු තීරණ සම්බන්ධව විවේචනය කර, එතුමා හෝ ආණ්ඩුව අධෛර්යමත් කිරීමට කටයුතු නොකරන බව හිටපු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසීය.

එමෙන්ම ධනාත්මක නව දේශපාලන සංස්කෘතියක් මෙන්ම කුහකත්වය පදනම් කර ගනිමින් විවේචනය නොකරන දේශපාලන සංස්කෘතියක් මේ රටේ සකස් විය යුතු බව ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

හිටපු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා ඊයේ (24) පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයට පැමිණ සිය නිල වාහන ඇතුළු උපකරණ සියල්ල අමාත්‍යාංශ ලේකම්වරයාට භාර දෙනු ලැබූ අවස්ථාවේදී කාර්ය මණ්ඩලය අමතා මේ බැව් අවධාරණය කළේය.

රට සංවර්ධනයට සියලු දෙනා ජනාධිපති අනුර දිසානායක මහතාට සහයෝගය දිය යුතු යැයි ද කී අමරවීර මහතා මේ අදහස් පළ කළේය.

අමරවීර මහතා මෙසේද පැවසීය.

‘ජනතාව නව රජයක් පත් කර ගැනීමට ජනමතය භාවිතා කර තිබෙනවා. මැතිවරණ ප්‍රතිඵල අනුව 42%ක ප්‍රතිශතයක් ලබාගෙන තිබුණත් වත්මන් ජනාධිපති අනුර දිසානායක මහතා මෙරට සංවර්ධනය කිරීමට සියලු පියවර ගනු ඇතැයි අපි විශ්වාස කරනවා. එමෙන්ම ජනාධිපතිවරයා වශයෙන් එතුමා ගනු ලබන තීන්දු තීරණ සම්බන්ධව අපි කිසිම අයුරකින් විවේචනය කර,ජනාධිපතිවරයාගේ හෝ එතුමාගේ ආණ්ඩුව අධෛර්යමත් කිරීමට කටයුතු කරන්නේ නැහැ. ඒ වෙනුවට හැමදේකටම විරුද්ධ වන දේශපාලනය වෙනුවට ධනාත්මක නව දේශපාලන සංස්කෘතියක් සහ කුහකත්වය පදනම් කර ගනිමින් විවේචනය නොකරන දේශපාලන සංස්කෘතියක් මේ රටේ සකස් විය යුතු යැයි අප විශ්වාස කරනවා.

ඒ නිසා ජනාධිපතිවරයාට මේ අවස්ථාවේදී රටේ සියලුදෙනා සහයෝගය පළ කළ යුතුයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරියත් බාහිරව ක්‍රියාත්මක වන දේශපාලන කණ්ඩායමක් වශයෙන් අපි අපේ සියලු සහයෝගය එතුමාට දෙනවා. ඉදිරි මහ මැතිවරණයේදී සියලු පක්ෂ හා සංවිධාන ඒකාබද්ධ වෙමින් මහ මැතිවරණය ජය ගැනීමේ වැඩපිළිවෙළක් අපි ආරම්භ කරනවා. දැනට ඒ සම්බන්ධව කර ඇති සියලු සාකච්ඡා සාර්ථකයි.

එසේම කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් ආරම්භ කළ වැඩසටහන් අනුව දැන් සහල්, කුකුළු මස් සහ බිත්තරවලින් අපි ස්වයංපෝෂිතයි. පළමුවරට MOP පොහොර නොමිලේ ලබා දෙන වැඩසටහනක් අපි ආරම්භ කළා. එම පොහොර නැවත් දැනට මුහුදේ අප රට දෙසට ගමන් කරමින් තිබෙනවා. අපට සහයෝගය දැක් වූ සියලු දෙනාට මම සුබ පතනවා.