රටක් ගොඩනැඟීමට ජනවරමක් සහිත ආණ්ඩුවක් වගේම යහපත් දේශපාලන සංස්කෘතියකුත් අවශ්‍යයි-මාධ්‍ය හමුවට එක්වෙමින් නව ජනාධිපති අනුර කුමාර කියයි

– ජනාධිපතිවරණය පැවැත්වීමම ජයග්‍රහණයක්
– සමාජයක් පවතින්නේ නීති මතම නොවෙයි
– ජනතාවගේ කැමැත්ත තමයි ඕනෑම පාලනයකට ශක්තිය දෙන්නේ

රටක් ගොඩනැඟීමට ජනවරමක් සහිත ආණ්ඩුවක් මෙන්ම යහපත් දේශපාලන සංස්කෘතියක් අවශ්‍ය බව නව විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ ජනාධිපති නිල ප්‍රතිඵල දැනුම්දීම සඳහා මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදී ඊයේ (22) රාත්‍රියේ පැවැති මාධ්‍ය හමුවට එක් වෙමිනි.

පළාත් පාලන මැතිවරණයක් අතුරුදන්ව තිබියදී පළාත් පාලන මැතිවරණයක් නොපැවැත්වීම සඳහා තීන්දුවක් පවා ගෙන තිබියදී මේ ජනාධිපතිවරණය පැවැත්වීම ජයග්‍රහණයක් බවද හෙතෙම කීවේය.

වැඩිදුරටත් ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා මෙසේද පැවසීය.

මේ මොහොතේ ජනාධිපතිවරණයක් පැවැත්වීමම අප ලද ජයග්‍රහණයක්. පළාත් සභා මැතිවරණය අතුරුදන් වී තිබෙනවා.පළාත් පාලන මැතිවරණයක් නොපැවැත්වීම පිළිබඳව ශ්‍රේෂඨාධිකරණයෙන් තීන්දුවක් පවා ලැබී තිබෙනවා.ඊළඟට මම හිතනවා අපේ කොමිෂන් සභාව විශාල වෙහෙසක් දරා අපට ජනතාවගේ කැමැත්ත සාධාරණ ලෙස පිළිඹිඹු වීම සඳහා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් විශාල වෙහෙසක් දැරුවා.ඒ පිළිබඳව බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා.සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව තුළත් විවිධ සාකච්ඡා තුළත් ඉදිරිපත් වී තිබෙන කරුණු ඊළඟ මැතිවරණයට පෙර සංශෝධනය කිරීම හොඳයැයි දැන් කියවුණා.හැබැයි ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයට පෙර නම් නොහැකි වෙයි කියා මම හිතන්නේ.ඊට පසුව අපට පුළුවන් වේවි.මමත් තේරීම් කාරක සභාවන් ගණනාවක් නියෝජනය කර තිබෙනවා.ජනතාවගේ සාධාරණ කැමැත්ත සාධාරණ ලෙස පිළිඹිඹු වීම සඳහා නීතියේ අවශ්‍ය වෙන සංශෝධන තිබෙන බවත් අප තේරුම් අරන් තිබෙනවා.ඒ සඳහා සඳහා ලබාදීම අප සැමගේ කාර්යයක්.දැන් ඉදිරිපත් වු කරුණු පිළිබඳව විශේෂ අවධානය යොමු කරනවා.

මේ වන විට අපේ රට පැති ගණනාවකින් අස්ථාවරභාවයට පත්වී තිබෙනවා. ආර්ථික, සමාජීය, දේශපාලන, ජාත්‍යන්තර ආදී වශයෙන් සියලු පැතිවලින් රට කඩා වැටී තිබෙනවා. අප හැමදාම විශ්වාස කරන්නේ කඩා වැටී තිබෙන රට ඉදිරියට ගැනීම සඳහා යම් පියවරක් ආරම්භ කර හැකි වන්නේ ජනතාවගේ කැමැත්තෙන් තෝරා ගන්නා ලද ජනවරමක් සහිත පාලනයකට විතරයි කියා. ජනතාවගේ කැමැත්ත තමයි ඕනෑම පාලනයකට ශක්තිය දෙන්නේ. මඟ පෙන්වීම ලබා දෙන්නේ. අපේ රට ගිලී තිබෙන අර්බුදයෙන් ගොඩ ගැනීමට නම් ජනතාවගේ ජනවරම සහිත පාලනයක අවශ්‍යතාව තිබුණා. අප දන්නවා පසුගිය කාලයේ ජනවරම විවිධ විකෘතිවීම්වලට භාජනය වී තිබුණා. පාර්ලිමේන්තුව සහ ඉන් ඔබ්බට තිබෙන ආයතනවල ජනමතය විකෘති වී තිබුණේ. ඒනිසා අප මේ රට ඉදිරියට ගෙන යන්න ජනවරම යළි ස්ථාපිත කළයුතුව තිබෙනවා. ඒ නිසා මං හිතන්නේ ජනාධිපතිවරණයේ ප්‍රධාන කරුණක්.ඉන් පසුව මම හිතනවා පාර්ලිමේන්තු මැතිවරණයක් ඒ හා සමගාමීව පැවැත්විය යුතුයි යන ස්ථාවරය තිබෙනවා.බොහෝ මැතිවරණවල ඝාතන සිදු වී තිබෙනවා. දේපළ ගිනි තැබීම් සිදු වී තිබෙනවා. රෝහල්ගතවීම් සිදුවී තිබෙනවා.මෙවර මැතිවරණය මේවා අවම මැතිවරණයක්.දේශපාලන ව්‍යාපාරවල නියැළෙන ජනතාව, ක්‍රියාකාරී සාමාජිකයන් ප්‍රවේශම් සහගත මැතිවරණ ක්‍රියාවලියක යෙදුන බව පෙනෙන්න තිබෙනවා. ඒ නිසා මම හිතනවා මෙවැනි ප්‍රචණ්ඩත්වයෙන් තොරව ගැටුම් කාරීත්වයෙන් තොරව මැතිවරණයක් පවත්වා ගැනීමට හැකියාව ලැබීමත් එක් පැත්තකින් ජයග්‍රහණයක්. එය ඉදිරියේදී ස්ථාවර ජයග්‍රහණයක් කරගන්නේ කොහොමද කියන එක පිළිබඳවත් අවධානය යොමු කර ගන්න ඕනෙ. අප රටේ කිසිම මැතිවරණයකදි කිසිම පුරවැසියකු මිය යා යුතු නැහැ. ඕනෑම දේශපාලන මතයක් දැරීමට තිබෙන අයිතියත් අප තහවුරු කළ යුතුයි.ඒ නිසා මෙවර ජනාධිපතිවරණයේදී තබන ලද පියවර ඉදිරියට කොහොමද අප ශක්තිමත්ව ඉදිරියට ගෙන යන්නේ. මෙවර අපේ රටේ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අවමයි කියා අප සිතනවා. අපේ රටේ බොහෝ දේවල් වෙනස් විය යුතුයි. ඒ වෙනස් වීම් තුළ මැතිවරණ පැවැත්විමත් වෙනස් විය යුතුයි. මැතිවරණවලින් පසුව ජයග්‍රහණ සැමරීමත් වෙනස් විය යුතුයි. අප තවදුරටත් පැරණි ගතානුගතික සාම්ප්‍රදායික සැමරීම්වල,අනෙකා පීඩනයට පත් කරමින් අනෙකාට බිය ගෙන දෙන සංස්කෘතිය අප අවසන් කළයුතුයි. අප දේශපාලන ව්‍යාපාරයක් ලෙස අපේ සාමාජිකයන්ට උපදෙස් දී තිබුණ රතිඤාඤා,අහස් කූරු පත්තු කිරිම් අනෙකාට පිඩාවට ගෙන දෙන ක්‍රියාවල යෙදෙන්න එපා කියා.

අපේ රටේ සමස්තයේම වෙනසක් අවශ්‍යයි මේ රට වෙනස් කරන්න.ඉදිරි දිනවලත් කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් කිසිවකු නොකළ යුතුයි. මේ තත්ත්වය ස්ථාවරත්වයට පත්කර ගත යුතුයි. අප මේ ක්‍රියා වල ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම සඳහා විශාල ප්‍රයත්නයක් දරන්නම්. අපේ රට විවිධාකාරයෙන් බෙදීම් ගණනාවකට භාජනය වී තිබුණා. ඒ බෙදිමේ ප්‍රතිවිපාකවලට අපේ පරම්පරාව මුහුණ දුන්නා. එම බෙදීම් සමනය කරගත යුතු කාලයක අප සිටින්නේ. මේ අභියෝගය තනි පක්ෂයකට, පුද්ගලයකුට, තනි කණ්ඩායමකට ගොඩගත හැකි තැනක නොවේ අද තිබෙන්නේ. රට සහ ජනතාවගේ ඉදිරි අනාගතය පිළිබඳව කල්පනා කර ගන්නා පියවරින් පියවර. සිද්ධියෙන් සිද්ධියට,අවස්ථාවෙන් අවස්ථාවට එක්ව වැඩ කරන්න පුළුවන් වේවි. ඒ බලාපොරොත්තුව අපට තිබෙනවා. අපි සාකච්ඡාවෙන් ඉදිරියට යන්නටත් බලාපොරොත්තු වෙනවා.

අපේ රටේ පුරවැසියන් ඡන්ද පොළට යාම, ඡන්දය ප්‍රකාශ කිරීම මැතිවරණ ව්‍යාපාරයට සක්‍රීයව මැදිහත්වීම ප්‍රජාත්නත්‍රවාදයේ හොඳ ලක්ෂණයක්. අපේ රටේ ජනතාව සැලකිය යුතු ප්‍රමාණයකින් සක්‍රීයව මේ මැතිවරණයට මැදිහත් වුණා. ඒකත් හොඳ ලක්ෂණයක්. සමහර දේවල් නීතිම නොවේ. අප අතර සම්මුතීන් සහ බැදීම් ද වැදගත්. සමාජයක් පවතින්නේ නීති මතම නොවේ. නීති, රීති සම්ප්‍රදායන් විශ්වාස මත සමාජයක් පවතිනවා. 04, 05 තැපැල් ඡන්ද තබාගෙන 03 වැනිදා වැටුප් වැඩි කිරිම සඳහා යෝජනාවක් සම්මත කිරීම යෝග්‍ය ද. සමහර ඒවා නීතිවලින්ම පමණක් නොවේ පවතින්නේ. ජනතාව මා කෙරෙහි, අපේ ව්‍යාපාරය කෙරෙහි විශ්වාසය තබා තිබෙනවා. අනෙක් දේශපාලන ව්‍යාපාර සහ නායකයන් කෙරෙහිත් විශ්වාසය තබා තිබෙනවා. ඒක ප්‍රජාතන්ත්‍රවාදි ලක්ෂණයක්.අප කෙරෙහි විශ්වාසය තබන ලද ජනතාවට සහ සියලු ජනතාවට කිසිම බේදයකින් තොරව ඉදිරියට ගෙන යනවා.