සංචාරක නවසීලන්ත පිල සමඟ ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාව මුල් ඉනිමට රැස් කළ ලකුණු 305ට පිළිතුරු ලෙස නවසීලන්ත පිල ඊයේ සියලු දෙනා දැවී ලකුණු 340ක් ලබාගත් අතර, ශ්‍රී ලංකාව දෙවැනි ඉනිමට කඩුලු 4ක් දැවී ලකුණු 237ක් ලබා තෙවැනි දිනය නිමා කළ හෙයින් කඩුලු 6ක් අතැතිව ලකුණු 202ක් ඉදිරියෙන් ශ්‍රී ලංකා පිල සිටියේය.
තෙවැනි දිනය නිමා වෙද්දී කඩුල්ලේ රැඳී සිටින නායක ධනංජය ද සිල්වා හා ඇන්ජලෝ මැතිව්ස් යන දෙදෙනාම නොදැවී ලකුණු 34 බැගින් ලබා සිටියහ.
ජනාධිපතිවරණය හේතුවෙන් තරගයේ සිව්වැනි දිනය දා නිවාඩු දිනයක් ප්‍රකාශ කර ඇති බැවින් මේ ටෙස්ට් තරගය අද (21) දින නොපැවැත්වේ. තමන් ඡන්දය සඳහා ලියාපදිංචි වී ඇති ඡන්ද බලප්‍රදේශයට ගොස් ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ලබාදී ඇති අතර, නවසීලන්ත ක්‍රීඩකයන්ට අද නිවාඩු දිනයේ ඓතිහාසික වටිනාකමක් ඇති ගාලු සිරි නැරඹීමේ අවස්ථාව උදා කර දී තිබේ.
ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව උදෙසා ඊයේ පස්වරුවේම ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ගම්බිම් බලා පිටත් වීමේ අවස්ථව ලබා දී තිබූ අතර, යළි අද පස්වරුවේම ගාල්ලේ නවාතැන්ගෙන සිටින තරු පහේ හෝටලය වෙත වාර්තා කළ යුතු බව කණ්ඩායම් කළමනාකාරීත්වය ක්‍රීඩකයන්ට දැනුම්දී ඇත. ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය ලෙස හෙට (22) පෙරවරු 9. 30ට යළි තරගය ආරම්භ කිරීම සැලසුම වී ඇති බැවින් නියමිත වේලාවට යළි හෝටලය වෙත පැමිණීම අනිවාර්ය වේ.
පළමු ඉනිමේ ලකුණු පරතරය අනුව ලකුණු 35ක් පිටුපසින් සිට ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා පිලේ පළමු කඩුල්ල ලෙස පැතුම් නිශ්ශංක ලකුණු 2කට දැවී ගියද චන්දිමාල් හා දිමුත් දෙවැනි කඩුල්ලට පන්දු 268කදී ලකුණු 147ක සබඳතාවක් එක් කිරීමට සමත් වූහ. ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න 39 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කර තිබියදී දඟ පන්දු යවන අජාස් පටෙල් එවූ පන්දුවකට ඩ්‍රයිව් පහරක් එල්ල කිරීමට ගොස් පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදී ලකුණු 83කට දැවී ගියේය. දිමුත් ඒ වෙද්දී පන්දු 127කට මුහුණදී හතරේ පහර 6ක් එල්ල කොට තිබිණි.
දිමුත් දැවී ගොස් ඕවරයක් ගෙවෙද්දී අංක තුන පිතිකරු දිනේෂ් චන්දිමාල් පන්දු 150කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟ ලකුණු 61කට දැවී ගිය අතර, ඔහු සිය 29 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළේය. පළමු ඉනිමේ ශතකයක් ලබාගත් කමිඳු මෙන්ඩිස් දෙවැනි ඉනිමේදී ලකුණු 13කට සීමා වූවේය.
පෙරේදා දෙවැනි දිනය නිමා වෙද්දී කඩුලු 4කට ලකුණු 255ක් ලබා සිටි නවසීලන්ත පිල ඊයේ තවත් ලකුණු 85ක් එක්කර ගනිද්දී ඉතිරි කඩුලු 6 බිඳ වැටිණි. දෙවැනි දිනය නිමා වෙද්දී නොදැවී ලකුණු 18ක් ලබා සිටි ටොම් බ්ලන්ඩල් ඊයේ ලකුණු 25ක් ලබා සිටියදී දවා ගැනීමට ප්‍රභාත් ජයසූරිය සමත්වීමෙන් නවසීලන්ත කඩාවැටීම ආරම්භ විය. තවත් ඕවර 4ක් ගෙවී යද්දී ලකුණු 57ක් ලබා තම 11 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළ ඩැරල් මිචෙල් දුවද්දී දැවී ගියේය. ඉතිරි කඩුලු 4 ලකුණු 49ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් විය.
පන්දු යැවීමේදී ප්‍රභාත් ජයසූරිය කඩුලු 4ක්, රමේෂ් මෙන්ඩිස් කඩුලු 3ක් හා ධනංජය ද සිල්වා කඩුලු 2ක් ලෙස දඟ පන්දු යවන්නන් අතර කඩුලු බෙදී ගියහ. දඟ පන්දුවට රජ දහනක් ලෙස හඳුන්වන ගාලු තණතිල්ලෙන් වේග පන්දුවට විශාල වාසියක් ගත් අඩි 6යි අඟල් 6ක් උසැති විලියම් ඕ’රූක් පළමු ඉනිමේ කඩුලු 5ක් හා දෙවැනි ඉනිමේ කඩුලු 3ක් දවාගෙන සිටී. 23 හැවිරිදි ඕ’රූක් ටෙස්ට් ඉනිමකදී කඩුලු 5 බැගින් දවාගත් දෙවැනි අවස්ථාව මේ තරගයේදී සටහන් කළේය.
ශ්‍රී ලංකා පළමු ඉනිම – 305 (ඕවර 91.5) කමිඳු මෙන්ඩිස් 114, කුසල් මෙන්ඩිස් 50 (විලියම් ඕ’රූක් 55/5, ග්ලෙන් පිලිප්ස් 52/2, අජාස් පටෙල් 60/2)
නවසීලන්ත පළමු ඉනිම
ටොම් ලෙතම් ඇ.(සදීර) ප.ජයසූරිය 70
ඩ්වෙන් කොන්වේ ක.මු.ක. ප.රමේෂ් 17
කේන් විලියම්සන් ඇ.කුසල් ප.ධනංජය 55
රචින් රවින්ද්‍ර ප.ධනංජය 39
ඩැරල් මිචෙල් දුවද්දී දැවී ගියා 57
ටොම් බ්ලන්ඩල් ඇ.ධනංජය ප.ජයසූරිය 25
ග්ලෙන් පිලිප්ස් නොදැවී 49
මිචෙල් සැන්ට්නර් ඇ.කුසල් ප.ජයසූරිය 2
ටිම් සවුති ප.ජයසූරිය 3
අජාස් පටෙල් ක.මු.ක. ප.රමේෂ් 6
විලියම් ඕ’රූක් ප.රමේෂ් 2
අතිරේක 15
එකතුව සියල්ලන් දැවී (ඕවර 90.5) 340
කඩුලු බිඳ වැටීම: 1-63, 2-136, 3-187, 4-196, 5-269, 6-291, 7-293, 8-297, 9-304, 10-340
පන්දු යැවීම: අසිත 7-1-25-0, කුමාර 12-5-28-0, ධනංජය 7-0-31-2, රමේෂ් 23.5-1-101-3, ජයසූරිය 40-5-136-4, කමිඳු 1-0-8-0.
ශ්‍රී ලංකා දෙවැනි ඉනිම
පැතුම් නිශ්ශංක ඇ.සවුති ප.ඕ’රූක් 2
දිමුත් කරුණාරත්න ප.පටෙල් 83
දිනේෂ් චන්දිමාල් ඇ.ලෙතම් ප.ඕ’රූක් 61
ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 34
කමිඳු මෙන්ඩිස් ඇ.මිචෙල් ප.ඕ’රූක් 13
ධනංජය ද සිල්වා නොදැවී 34
අතිරේක 10
එකතුව කඩුලු 4ක් දැවී (ඕවර 72) 237
කඩුලු බිඳ වැටීම: 1-6, 2-153, 3-153, 4-178
පන්දු යැවීම: ඕ’රූක් 12-2-37-3, පටෙල් 19-3-68-1, සැන්ට්නර් 14-2-51-0, සවුති 10-3-15-0, පිලිප්ස් 12-1-50-0, රවින්ද්‍ර 5-0-11-0.