මැතිවරණ රාජකාරියට පොලීසියෙන් 63,000ක්

එළඹෙන 21 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ ඡන්ද මධ්‍යස්ථානවල හා මැතිවරණ කටයුතුවල ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව මැතිවරණ රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 63,000ක් සහ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 2500ක්, සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් 12,000ක් යොදවා තිබෙන බව සඳහන්.

එමෙන්ම ජංගම මුර සංචාර 3083ක් සිදුකරන බවත් මෙය සුලු වශයෙන් වෙනස් විය හැකි බවත් මේ සඳහා පොලිස් නිලධාරීන් 12400 කට අධික පිරිසක් අනියුක්ත කර තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා සඳහන් කර සිටියා.

මැතිවරණ දිනයේදී හා මැතිවරණ දිනයෙන් පසුව මාර්ග බාධක යොදවන බවත් මේ සඳහා පොලිස් නිලධාරීන්ට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ද යොදවන බවත් එමෙන්ම කැරළි මර්ධන කණ්ඩායම් ස්ථාපිත කර තිබෙන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

දැනට විදුලි බලාගාර ඇතුළු පොදු ස්ථානවල රාජකාරී කරන පොලිස් නිලධාරීන් මැතිවරණ රාජකාරී සඳහා යොදවා තිබෙන බවත් එම ස්ථානවලට යුධ හමුදා නිලධාරින් යොදවන බවත් මේ සඳහා නිලධාරීන් 3000 කට අධික පිරිසක් රාජකාරී කටයුතුවල යොදවන බවත් නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා සඳහන් කර සිටියා.