ලක්ෂ්මන් වසන්තට විරෝධය පා රෝහිණී දඹුල්ලේ සජබ වේදිකාවෙන් බහී

සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් දඹුල්ලේ පෙරේදා (16) පැවති රැස්වීමට හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වන ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා සහභාගි වී සිටීම හේතුවෙන් ඔහු වේදිකාවෙන් බැස යනතුරු මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය වේදිකාවට ගොඩ නොවී විරෝධයක් දැක්වූවාය.

එම වේදිකාවට තමා නැඟීම ප්‍රතික්ෂේප කළේ ඔහු එතනෝල්කරුවකු වන නිසාවෙන් බවත් තමන් කිසිවිටෙක සජබ ප්‍රතිපත්තිවලට එරෙහිව කටයුතු නොකරන බවත් තමන් විරුද්ධත්වය පෑවේ ලක්ෂ්මන් වසන්ත මහතා එතනෝල්කරුවකු වන හෙයින් නිසා බව ද කියා මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී රෝහිණී කවිරත්න මහත්මිය පැවසුවාය.

තම දිස්ත්‍රික්කයේ දැඩි ප්‍රශ්නයක්ව තිබූ එතනෝල් ප්‍රශ්නය හේතුවෙන් ලක්ෂ්මන් මහතාට එවක පැවැති මහ මැතිවරණයෙන් පැරදීමට පවා හේතු වූ බව ද මන්ත්‍රීවරිය පැවසුවාය.

ඇය වේදිකාවෙන් බැස යෑමත් සමඟ ඇගේ පාක්ෂිකයන් ද ඇය සමඟින් එම ස්ථානවල රැඳී සිටිනු දැක ගැනීමට හැකිවිය. පසුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැමිණීමටත් පෙර වසන්ත පෙරේරා මහතා වේදිකාවෙන් බැස පිටව ගොස් තිබිණි. ඒ අනුව ඇය සජිත් ප්‍රේමදාස මහතා සමඟ වේදිකාවට නැඟ ඉදිරිපෙළ අසුනේ වාඩි වී සිටිනු දැක ගැනීමට හැකි විය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපස තබාගෙන ඇය දැඩි ප්‍රකාශයක් කරමින් කියා සිටියේ සජිත් ප්‍රේමදාස නායකතුමා එතනෝල්කාරයන්ට මත්පැන් අලෙවිකරුවන්ට තැබෑරුම් හිමියන්ට තම වේදිකාවේ ඉඩක් නැති බව ප්‍රකාශ කොට තිබුණු බවය. එහෙත් එක හරක් පැටියෙක් ළඟට ගෙන කිරි කලයට ගොම බින්දුවක් නොදමන්නැයි ඉල්ලා සිටියාය.