මාධ්‍යවේදීනි වත්සලා ගමගේ සම්පාදනය කළ ‘ඇඹිලි- බිලි’ නවකතාව දේශපාලන නවකතාවක් ලෙස හඳුනාදිය හැකි අතර, 90 දශකයේ මුල් වසර කිපය තුළ ඇඹිලිපිටිය කේන්ද්‍රකර ගනිමින් සිදු වූ මහා ශිෂ්‍ය ඝාතනය මෙම නවකතාවට වස්තු බීජය සපයා ඇති බවත් අද ජනතාව ඉදිරියට ඇවිත් ඡන්දය ඉල්ලන බොහෝ දෙනෙක් මෙම ශිෂ්‍ය ඝාතනයට වගකිවයුතු බව දිනමිණ පුවත්පතේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චන්දන විජේකෝන් මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ මාධ්‍යවේදීනි වත්සලා ගමගේ මහත්මිය සම්පාදනය කළ ‘ඇඹිලි- බිලි’ නව කතාව එළිදැක්වීම නිමිත්තෙන් කොළඹ මහවැලි කේන්ද්‍රයේ පසුගියදා (12) පැවැති උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වමිනි.
තවදුරටත් ඒ මහතා මෙසේද පැවසීය.
90 දශකයේ ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලය තුළ සිදු වූ ඛේදනීය සිද්ධියක් ‘ඇඹිලි-බිලි’ නවකතාවට පාදක වෙනවා. ඇඹිලිපිටිය මධ්‍යම මහා විද්‍යාලයේ විදුහල්පතිතුමාගේ පුතා එම පාසලේම ශිෂ්‍යාවක් සමඟ ඇති කර ගන්නා ප්‍රේම සම්බන්ධතාවය නැවැත්වීමට ශිෂ්‍යයන් තිස් එකක් ඝාතනය කිරීම කොයිතරම් අපරාධයක්ද. දයානන්ද ලොකු ගලප්පත්ති විදුහල්පතිවරයා සිය දේශපාලන බලය යොදා ගනිමින් අහිංසක සිසුන් තිස් එකක් සූරියකන්ද මුදුනට ගෙන ගොස් ඝාතනය කළා. ධනපති දේශපාලනයේ රැකවරණය ලබමින් සිටි මේ විදුහල්පතිවරයා ශිෂ්‍ය ප්‍රජාව කළමනාකරණය කළේ මේ අන්දමින් තමයි. නිල හා නිල නොලත් තුවක්කුකරුවන් ඝාතන දේශපාලනය සංස්කෘතියක් 87- 88 – 89 වසරවල අපේ රටේ පැවැති බව අද බොහෝ දෙනෙක් අමතක කරන කාරණයක්.1990 පස්සේ මේ රටේ ඉපදුන බොහෝ දෙනෙක් මේ ඝාතන සංස්කෘතිය ගැන අවබෝධයක් නැහැ. ඒ නිසා තමයි මම කියන්නේ මේ ඝාතන සංස්කෘතියට දායක වූ බොහෝ දෙනකුට ජනතාව ඉදිරියට ඇවිත් ජන්දය ඉල්ලන්න අයිතියක් නැති බව. ඔවුන් ජනතාවගෙන් සමාව ගත යුතුයි.
90 දශකයේ මුල්වකවානුව තුළ රාජ්‍ය හා රාජ්‍ය නොවන ත්‍රස්තවාදය දකුණේ පමණක් නොව උතුරු ප්රදේශයෙත් ක්‍රියාත්මක වුණා. තරුණයන් විශාල වශයෙන් ඝාතනයට ලක් වුණා. මිය ගියේ අහිංසක මිනිසුන්. රජ්‍ය සහ රාජ්‍ය නොවන ඝාතකයන් මේ අහිංසකයන් මරා දමන කොට ඔවුන් බොහෝ දෙනකුගේ අතේ තිබුණේ පෑන, පොතක් හෝ බත් පාර්සලයක් පමණයි. මෙරට දේශපාලනයේ මහා පරිවර්තනයක් ඇති වුණේ 1993 වසරේ බව අප කවුරුත් දන්නා කරුණක් . ඒ චන්ද්‍රිකා බණ්ඩාරණායක මැතිනිය ප්රමුඛ ආණ්ඩුව බලයට පැමිණීමයි. චන්ද්‍රකාට බලයට එන්න මූලික හේතුව ගොඩනැඟෙන්නේ සූරියකන්දේ වැළළුණු ළමුන් 31 දෙනා බව අප මතක තබා ගත යුතුයි. මමත් සූරියකන්දට ගිහින් මේ අහිංසකයන්ගේ සිරුරු ගොඩ ගත්තා. මගේ මතකය හැටියට තරුණ දරුවන් 300ක් පමණ මේ සුරියකන්ද හා අවට ඝාතනය කර වළදමා තිබුණා. නමුත් කනගාටුවෙන් එක් දෙයක් කිවයුතුව තිබෙනවා. මේ මළමිනී මතින් බලයට ආපු පුද්ගලයන් මේ ශිෂ්‍යයන්ගේ පවුල්වලට සාධාරණයක් කළේ නැහැ. උතුරේ තත්ත්වයත් මේකයි.
‘ඇඹිලි බිලි’ නවකතාවේ කර්තෘවරිය වන වත්සලා, ලේක්හවුස් ආයතනයට සම්බන්ධ වූණේ පුහුණු මාධ්‍යවේදිනියක් ලෙසයි. ඇයට ලැබුණු තොරතුරු සහ සිද්ධි ඉතා ඍජුව සහ නිර්මාණශිලීව සමාජගත කරන්නට සමත් වුණා. තමා දරන මතය කිසිදු පැකිළීමකින් තොරව සමාජයට එක් කරන්න වත්සලාට ශක්තියක් සහ හැකියාවක් තිබුණා. එය මාධ්‍යවේදියකුගේ තිබිය යුතු ලක්ෂණයක්. කෙටි කාලයකදී ඇයට මාධ්‍ය ක්ෂේත්රයේ ලොකු දුරක් යන්නට පුළුවන් වුණේ ඒ නිසායි. ඇඹිලි-බිලි නවකතාව ඔබ නැවත නැවත කියවිය යුතු නවකතාවක් බව මගේ වැටහීමයි.
දෙරණ සාමාණ්යාධිකාරි වසන්ති නානායක්කාර මහත්මිය – ‘ඇඹිලි- බිලි’ නවකතාව කියවා ගෙන යනවිට අපට පෙනෙන්නේ, මෙහි එන ‘පූර්ණා’ ගේ චරිතයයි. එම චරිතය කායිකව හා මානසිකව ශක්තිමත් චරිතයක්. පූර්ණා වැනි චරිත වත්මන් සමාජයේ සිටිය යුතුමයි. එමෙන්ම කතාව නිර්මාණයට අලංකාර උපමා, උපමේය ගණනාවක් කතුවරිය භාවිත කොට තිබෙනවා. ඇඹිලි-බිලි නවකතාවට පාදක වූ සිද්ධියේ තරුණ දරුවා හා දැරිය අතර ඇතිවෙන ප්‍රේමය, ප්‍රේමයක් ලෙසම දුටුවා නම් ඔවුන් අදටත් ජීවතුන් අතර සිටිනවා. මෙම සිද්ධියට මූලිකම හේතුව වෙන්නේ, තව කෙනෙකුව තේරුම් ගැනීමේ නොහැකියාව හා ප්‍රේම කිරීමේ නොහැකියාවයි. ඒ නිසා ආදරය, කරුණාව අපේ සමාජයෙන් ඈත්වීම තුළ මෙවැනි ඛේදවාචකයන් ඇති වීම වළක්වන්න බැහැ.
මහාචාර්ය ටියුඩර් වීරසිංහ මහතා ද මෙහිදී අදහස් දැක්වීය.