මාලිමා ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ආදායම සහ වියදම අතර බිලියන 4000ක හිඟය නිසා IMF එකඟතා මුළුමනින්ම බිඳවැටෙන අවදානමක්-ජනපති අනතුරු අඟවයි

ඩොලරය රුපියල් 500කටත් වඩා ඉහළ යන තත්ත්වයක්

සජබ නායකයා IMF එකට කතා කළ බවට කියන්නේ අමූලික බොරු

සජබ සහ මාලිමාව තවමත් ඔවුන්ගේ ඉදිරි වැඩපිළිවෙළ ගැන IMF සමඟ සාකච්ඡා කර නෑ

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් යෝජනා ක්‍රියාත්මක කළහොත් වසර 2025දී රජයේ ආදායමත් වියදමත් අතර බිලියන 4,000ක හිඟයක් ඇති වන බවත් ඒ තුළින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන ඇති එකඟතා මුළුමනින්ම බිඳවැටීමේ අවදානමක් මතුවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. මෙලෙස එකඟතා බිඳවැටීමත් සමඟ එක්සත් ජනපද ඩොලරයට ගෙවන ශ්‍රී ලංකා රුපියලේ අගය 500ටත් වඩා ඉහළ යෑ හැකි බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය. මාලිමාවේ හා සජබ නායකයින් IMF සමඟ සාකච්ඡා කර නැහැ. සජබ නායක විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කරුණු පිළිබඳ සාකච්ඡා කළ බවට ප්‍රකාශ කළත් එය අමූලික බොරුවක් බවත් ජනාධිපතිවරයා කීය.

ජනාධිපතිවරණය නිමා වී සති දෙකකින් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ නියෝජිතයන් පිරිසක් මෙරටට පැමිණෙන බවත් අප ආණ්ඩුව ක්‍රියාත්මක කරනු ලබන ආර්ථික සංවර්ධන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ වෙනස් කළහොත් නැවතත් රටේ ආර්ථිකය වසර 2022 මැයි මාසයේ පැවැති අඳුරු අගාධයකටත් වඩා අගාධයකට ඇදවැටෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ මෙරට මුද්‍රිත මාධ්‍ය ආයතන නියෝජිතයන් සමඟ කොළඹ ජනාධිපති නිල නිවෙසේ ඊයේ (17) පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා, ජනාධිපතිවරණ ඉලක්කකොට ජාතික ජන බලවේගය සහ සමඟි ජන බලවේගය පරස්පරතා සහිත ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කොට ඇතැයි කීය. ඒ අනුව ජාතික ජන බලවේගය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ලබන වසර සඳහා අය-වැය සකස් කිරීමේදී රජයේ ආදායමත් රජයේ වියදමත් අතර බිලියන 4000ක හිඟයක් ඇති වන බව පෙන්වා දුන්නේය.

වත්මන් රජය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 5% නොඉක්මවන විදේශ මූල්‍ය පහසුකම් ලබා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාව පළ කොට ඇත.

ජාතික ජන බලවේගයේ අය-වැය හිඟය පියවීමට යෑමේදී දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 11.2% මූල්‍ය පහසුකම් ලබා ගැනීමට සිදුවනු ඇත. එය අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතා බිඳවැටීමක් ලෙස පෙන්වා දුන් ජනාධිපතිවරයා, එවැනි දෙයක් සිදුවුවහොත් ඔවුන් අප රටට මූල්‍ය පහසුකම් ලබාදීම අත්හිටුවීමට කටයුතු කරනු ඇතැයි කීය. එවැනි තත්ත්වයක් ඇති වුවහොත් නැවත වතාවක් වසර 2022 රටේ පැවති අඳුරු අතීතයට ආර්ථිකය රැගෙන යෑමක් වනු ඇතැයි කී ජනාධිපතිවරයා ඉන් බේරීමට නම් මෙවර ජනාධිපතිවරණයේදී මහජනතාව බුද්ධිමත් තීරණයක් ගෙන ඡන්දය ප්‍රකාශ කළ යුතුව ඇතැයි ද සඳහන් කළේය.

විදේශ මූල්‍ය පහසුකම් ලබා ගැනීමට බාධා ඇති වීමත් සමඟ ශ්‍රී ලංකාවේ රුපියල් එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව විශාල ලෙස අවප්‍රමාණය වී මෙරට පොලී අනුපාත 25% මට්ටමට ඉහළ යනු ඇත. ඩොලරයට ගෙවන රුපියල් ප්‍රමාණය රුපියල් 400 සිට 500 දක්වා වැඩි වනු ඇත. උද්ධමනය ඉතා වේගයෙන් ඉහළ යනු ඇත. ඒ සමඟ යම් මට්ටමින් ස්ථාවර වීමට පටන් ගත් ශ්‍රී ලංකා ආර්ථිකය ඉතා වේගයෙන් පසුබසින බව ද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.