ජනාධිපතිවරණය වෙනුවෙන් වන්නියේ මධ්‍යස්ථාන 387ක් ආරක්ෂාවට පොලිස් නිලධාරීහු 1500ක්

වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයන් 306081ක් වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන 387ක් පිහිටුවනු ලබන බව වන්නි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී පී.ඒ. සරත්චන්ද්‍ර මහතා වවුනියාව දිසාපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී 16දා පැවසීය.

ඡන්ද මධ්‍යස්ථානවල හා ඡන්ද දායකයන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 1500ක් යොදවා සිටින බවද ඔහු මෙහිදී කියා සිටියේය.

වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන් 306081 දෙනාගෙන් වවුනියාවට ඡන්ද දායකයන් 128585ක් ද මුලතිව් දිස්ත්‍රික්කයට ඡන්ද දායකයන් 86889 ක්ද ඇතුළත් වෙයි. මන්නාරම දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීම පිණිස සුදුසුකම් ලබා සිටින ඡන්ද දායකයන් සංඛ්‍යාව 90607කි. ඡන්ද දායකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මධ්‍යස්ථාන 387ක් පිහිටුවනු ලබන අතර ඉන් වවුනියාවේ මධ්‍යස්ථාන152ක් ද මුලතිව් 137ක් ද මන්නාරමේ 98ක් ද වෙයි.