බලය ඉල්ලන කතාකාරයන් වගේ නොවේ මගේ පැතුම ක්‍රියාවෙන්ම විප්ලවයක් කිරීමයි-මහනුවර-නුවරඑළිය-රත්නපුරය-හොරණ ‘රනිල්ට පුළුවන්’ ජනරැලි අමතමින් ජනපති කියයි

රටේ වෙනසක් ඇති කරන්නැයි බලය ඉල්ලන කතාකාරයන් මෙන් නොව තමා, බලය ඉල්ලන්නේ ක්‍රියාවෙන්ම ඉදිරි වසර පහ තුළ අප රටේ ආර්ථික, සමාජ විප්ලවයක් සිදු කරන්නයැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ අදහස් පළ කළේ ‘රනිල්ට පුළුවන්’ ජනාධිපතිවරණ ප්‍රචාරක රැලි මාලාවේ මහනුවර, නුවරඑළිය, රත්නපුරය සහ හොරණ පෙරේදා (15) පැවති ජන හමු අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා:

“ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැඟීමට නම් අයිඑම්එෆ් එකඟතා ඒ අයුරින්ම ක්‍රියාත්මක විය යුතු බවට ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර තිබෙනවා. එනිසා මූල්‍ය අරමුදලේ එකඟතා කිසිවක් වෙනස් කිරීමට මා සූදානම් නැහැ. පාර්ලිමේන්තු බලය සමඟ රට ස්ථාවර කළ මම දැන ජනවරමක් ඉල්ලන්නේ විප්ලවයක් කිරීමටයි. ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ එලෙසම ක්‍රියාත්මක කළ යුතු බව මූල්‍ය අරමුදලත් අවධාරණය කර තිබෙනවා.

“මීට වසර දෙකකට පෙර ජනතාව ඡන්දයක් ඉල්ලුවේ නැහැ. ඡන්දයක් පැවැත්වීමට පුළුවන් වෙයි කියා ජනතාව සිතුවේ නැහැ. නමුත් අද ජනතාව මුදල් උපයනවා. මේ දීර්ඝ සති අන්තයේ මහනුවර, නුවරඑළිය, බණ්ඩාරවෙලට පැමිණ සිටින ජනතාව දුටු විට රට ලබා තිබෙන ආර්ථික ප්‍රගතිය අපට පෙනෙන්නට තිබෙනවා. මෙවර ජනපතිවරණයට අපේක්ෂකයන් 39 දෙනකු ඉදිරිපත් වී සිටිනවා. එදා ආණ්ඩුව භාර ගැනීමට ඔවුන් ඉදිරිපත් වුණා නම් මට අද මෙතැනට එන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනාම මීට පෙර ජනාධිපතිවරණ සඳහා ඉදිරිපත් වෙලා තිබෙනවා. මම 1977ට පෙර මගේ දේශපාලන කටයුතු ආරම්භ කළා. ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, ගාමිණී දිසානායක, ලලිත් ඇතුළත්මුදලි, ගාමිණී අතුකෝරාළ සහ මම එක් වී එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කෙරෙවුවා. ඔවුන්ගෙන් අද ඉතිරිව සිටින්නේ මා පමණයි. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කිරීමේ වගකීම මට පැවරී තිබෙනවා.

“ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කතා කර මහවැලි ව්‍යාපාරය ආරම්භ කළා, ඒ වගේම ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අගනුවර බවට පත් කළා. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාත් ජේවීපී ත්‍රස්තවාදය නිසා විනාශ වූ මේ රටේ ආර්ථිකය ගොඩනැඟීම වෙනුවෙන් විශාල වැඩ කොටසක් කළා. ඒ අවස්ථාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර අපගේ කර්මාන්ත උපායමාර්ග ඉදිරියට ගෙන ආවා. මේ වැඩකොටස ලංකා ඉතිහාසයේ වාර්තාවක් වන බව කිව යුතුයි.

“රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාට විරුද්ධව දෝෂාභියෝගයක් එල්ල වූ අවස්ථාවේ එතුමා බේරාගත්තේ මමයි. මම එතුමා බේරුවේ නැත්නම් අද සජිත් ප්‍රේමදාස දේශපාලනයේ නැහැ. ඒ වගේම රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයාගේ මරණය අවස්ථාවේ එම වගකීම් භාරගෙන කටයුතු කළේ මමයි. දෝෂාභියෝගය සමයේ මගේ මිත්‍ර ලලිත් සහ ගාමිණී අතහැර මම පක්ෂය සමඟ සිටියා. රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයාගේ පුතා පියාගේ ප්‍රතිපත්ති පාවා දීම ගැන මා කනගාටු වෙනවා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයට ඔහුට තිබෙන අයිතිය මොකක්ද කියා මා දන්නේ නැහැ.

“මේ රටේ ආර්ථිකයට සිදු වන හානිය මා 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී කිවුවා. එහෙත් කවුරුත් ඒක පිළිගත්තේ නැහැ. අප පැවසූ ආකාරයෙන්ම මේ රටේ ආර්ථිකය කඩාවැටුණා. 2022 ආර්ථිකය කඩාවැටුණු අවස්ථාවේ මා රට භාර ගත්තා. එහිදී මා හැම පක්ෂයකම සහාය ඉල්ලුවා. සජිත් මට සහාය දුන්නේ නැහැ. ඒ වෙනුවට පොහොට්ටුවෙන් කැඩුණු ජී.එල්. පීරිස් සමඟ එක්ව ඩලස් අලහප්පෙරුමට සහාය දී සජිත් අගමැති වෙන්න ලෑස්ති වුණා. සජිත් අගමැතිකම මගෙන් ඉල්ලුවා නම් පොහොට්ටුව සමඟ කතා කර එය දෙනව නේ. එහෙම දොළදුකක් තියෙනවා කියලා කවුද දන්නෙ!

“හිටපු කෘෂිකර්ම ඇමැති සහ සජිත් ප්‍රේමදාස අද මා එක්ක තරග කරනවා. ඒ එක් අයෙක්වත් ආණ්ඩුව භාර ගන්න එදා සූදානම් වුණේ නැහැ. එදා රටේ නීතිය හා සාමය ඇති කිරීම සහ ජනතාව ජීවත් කරවීමේ වගකීම ආණ්ඩුවට පැවරී තිබුණා. ඇයි එදා ඔවුන් මේ වගකීම භාරගත්තේ නැත්තේ? දේශපාලනඥයන් නිර්ධන පන්තිය අතහැර දමා තිබෙන්නේ ඇයිදැයි අනුර කුමාර අහනවා. නිර්ධන පන්තිය පිළිබඳ ඔච්චර කැක්කුමක් තිබුණා නම් එදා ආර්ථික අර්බුදය හමුවේ රට භාර ගත්තේ නැත්තේ ඇයි? මා රටේ ආර්ථිකය හැදුවට පස්සේ දැන් රට ඉල්ලනවා.

මා ජනාධිපති ධුර අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස් වීමට හදනවා යැයි සජබෙ කියනවා. මම එලෙස අභියෝගවලට බයේ ඉල්ලා අස් වන මිනිහෙක් නොවන බව ඔවුන් දැනගන්න ඕනෑ. එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනාට මා සමඟ එක්වන්නැයි ආරාධනා කරනවා. සජිත් ප්‍රේමදාසටත් මා ආරාධනා කරනවා. ඔහුටත් දුවන්නේ නැතිව සිටීමේ පාඩම මම උගන්වන්නම්.

“මම දුෂ්කර කාලයකදී මේ රටේ ජනතාව ජීවත් කරවීම වෙනුවෙන් දුෂ්කර තීරණ ගත්තා. අකැමැත්තෙන් වුවද වෛද්‍යවරයකු ශල්‍යකර්මයක් සිදු කරන අයුරින් ඒ තීරණ ගැනීමට මට සිදු වුණා. ආර්ථිකය දියුණු වීමත් සමඟ ජනතාවට අප තවත් සහන සලසා දෙනවා. මගේ මූලික පරමාර්ථය 2025 වසර අවසන් වන විට ජනතාවගේ ජීවන බර සැහැල්ලු කිරීමයි. මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව අඩු කර නැති දෙයක් හොයන්න නැහැ. ඒ වගේම සජිත්ට ඉතිරි වෙලා තියෙන්නේ හිසරදරය නොමිලේ දෙන්න විතරයි. මේ සියල්ල දුන් විට ආණ්ඩුවේ වියදම වැඩි වනවා.

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සියලු අපේක්ෂකයන්ගේ මැතිවරණ ප්‍රකාශ පරීක්ෂා කර පසුගිය 13 දා නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඉතිහාසයේ සිදු වූ දරුණුම අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාවට අවස්ථාවක් දීම සඳහා අයිඑම්එෆ් වැඩසටහනේ අරමුණු සාක්ෂාත් කරගැනීම ඉතා වැදගත් වන බව ඒ නිවේදනයේ සඳහන්ව තිබෙනවා. ඔවුන් කියන්නේ මේ ඉලක්ක වෙනස් කරන්න එපා කියලයි.

ඒ වගේම ප්‍රතිසංස්කරණ අඛණ්ඩව සිදු කිරීම අත්‍යවශ්‍ය බව සඳහන් කර තිබෙනවා. කවුරු බලයට ආවත් ප්‍රතිසංස්කරණ වෙනස් නොකරන බව ඔවුන් කියනවා. ඒ අනුව IMF දැනුම් දී තිබෙන්නේ අනුමත කරගත් එකඟතා සමඟ ඉදිරියට යා යුතු බවයි. මේවා කියන්නේ මම නෙවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි.

“මට ඔය පුටුවේ ඉඳගන්න බැරි වුණා. ඒ නිසා චාන්ස් එකක් දෙන්නැයි අනුර කුමාර කියනවා. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති පුටුවට ගෙනත් දැම්මේ මා නෙවේ, ජනතා විමුක්ති පෙරමුණයි. ඔහුගේ නම යෝජනා කළේ ජනතා විමුක්ති පෙරමුණයි. ඔවුන් අද උත්සාහ කරන්නේ මුහුණු වෙනස් කරන්නයි. මා නම් එලෙස මුහුණ වෙනස් කරන්නේ නැහැ. පාර්ලිමේන්තු බලය සමඟ මා රට ස්ථාවර කළා. මා ජනතාවගේ ඡන්ද බලය ඉල්ලන්නේ විප්ලවයක් කරන්නයි. ප්‍රායෝගික වැඩපිළිවෙළක් නැතිව වෙනස ගැන කතා කර වැඩක් නැහැ. වසර 5ක් ඇතුළත මෙරට ආර්ථිකයේ පෙරළියක් ඇති කර නව ආර්ථිකයක් ගොඩනඟා දෙන බවට මම ජනතාවට සහතික වෙනවා. ඒ වගේම අස්වැසුම සහ උරුමය වැඩසටහන් ක්‍රියාත්මක කර මා සමාජ විප්ලවයක් සිදු කරනවා.

“මේ විප්ලවය කිසිවකු සිදු කළේ නැහැ. සමාජ සාධාරණත්ව කොමිසම ඇති කරනවා. ඒ වගේම දූෂණ විරෝධි න්‍යායපත්‍රය ඉදිරිපත් කරනවා. ඒ වගේම නැවත දිස්ත්‍රික් සංවර්ධන මණ්ඩල ඇති කර ජන සභා ඇති කර තිබෙනවා. මෙය විශාල විප්ලවයක් බව කිව යුතුයි. ඒ නිසා මෙම විප්ලවය සමඟ එක වන ලෙස මා සියලු දෙනාට ආරාධනා කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදුජන පෙරමුණ අප සියලු දෙනා එක් වෙලා මේ විප්ලවය කරමු.”

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා:

“මීට වසර දෙකකට පෙර රාජ්‍ය පාලනය බිඳවැටුණා. එවැනි සිදුවීමක් වුණේ ඉතිහාසයේ පළමු වරටයි. ශ්‍රී ලංකාව එදිනෙදා ජීවිතය පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයකට පත්වුණා. ඒ අවස්ථාවේ විවිධ කණ්ඩායම් හිංසාවාදි ක්‍රියාපිළිවෙතකින් බලය අල්ලාගැනීමට උත්සාහ දැරුවා. ඒ අවස්ථාවේ අප ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බහුතරයෙන් ජනාධිපති කර මේ රටේ සාමකාමි වාතාවරණයක් ඇති කිරීමට කටයුතු කළා. එසේ නම් ජනතාවගේ ජීවත් වීමේ අයිතිය සුරකින, වගකීමක් ඇති නායකයකුට මේ රට භාර දෙනවාද? නැති නම් වගකීම් විරහිත නායකයකුට රට භාර දෙනවාද? කියන කාරණය මෙවර මැතිවරණයේදී ජනතාව තීන්දු කරනවා.”

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා:

“අප සියලු දෙනා එක්ව 2019 දී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කළා. මහ මැතිවරණයේදී තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කළා. ගෝඨාභය රාජපක්ෂ මහතා නිහතමානීව ජනාධිපති ධුරය කරන්න බැහැ කියා සජිත් ප්‍රේමදාසට ආරාධනා කළා. ඔහු එය ප්‍රතික්ෂේප කළා. අනුර දිසානායකට ආරාධනා කරන්න දුරකතන ඇමතුම් විශාල ප්‍රමාණයක් ගත්තත් ඔහු සම්බන්ධ වුණේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහතාට කතා කළාම කොන්දේසි විරහිතව එකඟ වුණා. ඉන් පසුව ඔහු පාර්ලිමේන්තුවේ බහුතර මනාපයෙන් ජනාධිපති ධුරයට පත් කළා. එදා එතුමාට දුන් මනාපය පිළිබඳ පොදු ජන පෙරමුණේ අප අද ආඩම්බර වෙනවා.”

රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා:

“විපක්ෂ නායකයාට බන්දේසියේ තබා දුන් අගමැතිකම භාර නොගෙන, ජනතාව දුක් විඳින වෙලාවේ පැනලා ගියා. දැන් ඔහු රට සුරපුරයක් කරන බවට වේදිකා වේදිකාගානේ කෑගහමින් සිටිනවා. අනුර දිසානායකගේ ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ ව්‍යවසායකයන් නැති කර දැමුවා, කර්මාන්ත වසා දැමුවා, ට්‍රාන්ස්ෆෝමර් ගිනි තිබ්බා. මේ සියලු දේම කර, අද ඇවිත් කියනවා ආර්ථිකය හදන්න ඔවුන්ට පුළුවන් කියලා. මේ අයට පුළුවන් රට ගිනි තියන්න විතරයි. අනුරට හරි සජිත්ට හරි කතිරේ ගැහුවත් මාස හයෙන් නැවත රනිල් වික්‍රමසිංහට රට භාර ගන්න වෙනවා.”

රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා:

“ඕනෑම රටක ආණ්ඩුවක් බිඳවැටෙන කොට අනෙක් පසින් ආණ්ඩු බලය ගන්න විපක්ෂය බැඳී සිටිනවා. ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ ආර්ථිකය බිඳවැටීමත් සමඟ ආණ්ඩුව භාර ගන්නා ලෙස විපක්ෂයට ආරාධනා කළා. විපක්ෂ නායකවරයා පැය හයක් සාකච්ඡා කරලා රට භාර ගන්න බෑ කිවුවා. අගමැතිවරයකු සොයාගන්න හිඟමනේ යන්න වුණා. ආර්ථිකය ගොඩනඟන්න පුළුවන් කියන කණ්ඩායම සහ ආර්ථිකය ගොඩනඟන්න බෑ කියන කණ්ඩායම අතර තිබෙන මැතිවරණය මෙයයි. ”

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා:

“පක්ෂ නායකයන්, පක්ෂය පැත්තක තියලා රනිල් වික්‍රමසිංහ මහතා සමඟ හිටගත්තේ ආර්ථිකය කඩාවැටුණු වෙලාවේ එය බේරාගැනීමට ඉදිරිපත් වූ එකම නායකයා ඔහු නිසයි. ජනාධිපතිවරයාගේ තිබුණු ජාත්‍යන්තර සබඳතා මත මේ රටේ ආර්ථිකය නිවැරදිව කළමනාකරණය කරගෙන ජනතාව දුකින් මුදාගැනීමට හැකි වුණා. ඒ ආකාරයට ජාත්‍යන්තර සබඳතා තිබෙන වෙනත් ජනාධිපති අපේක්ෂකයෙක් නැහැ.”

හිටපු අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය:

රනිල් වික්‍රමසිංහ මහතා 2022 වසරේ රට භාර නොගත්තා නම් අද ශ්‍රී ලංකාවත් බංගලාදේශයක් බවට පත්වෙනවා. ඔහුගේ වැඩපිළිවෙළ නිසා අද වන විට ආර්ථිකය යථා තත්ත්වයට පත් වී තිබෙනවා. මේ වෙලාවෙදි විපක්ෂයේ කණ්ඩායම් කිවුවෙ ආර්ථිකය නිවැරදි කරන්න රනිල්ට බෑ කියලායි. බෑ කියපු සියල්ල ජනාධිපතිවරයා පුළුවන් කියලා කරලා පෙන්වා තිබෙනවා.”

නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමාන් මහතා:

“මේ මැතිවරණය අඳුර සහ ආලෝකය අතර පවත්වන මැතිවරණයක්. මෙය ආර්ථික වර්ධනය සහ අවපාතය යන දෙකෙන් එකක් තෝරාගැනීම සඳහා පවත්වන මැතිවරණයක් ලෙසත් සඳහන් කළ හැකියි. ආර්ථික සංවර්ධනයක් ඇති කළ හැකි නායකයෙක් මේ රටේ ඉන්නවා නම් ඒ අපේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා පමණයි..”

පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා:

“ජනතා විමුක්ති පෙරමුණ පෞද්ගලික විශ්වවිද්‍යාල එපා කියලා මේ රටේ උද්ඝෝෂණ මාලා දියත් කළා. ඒත් ඔහුගේ දරුවන් විදේශ රටවල විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබනවා. ඒ පක්ෂයේ ඇතැමුන් කියනවා ගණිකා වෘත්තිය නීතිගත කරනවා කියලා. මහනුවර ජනතාව මේවට කැමැතිද? මේ වගේ දෙබඩි නායකයන්ට රට භාර දුන්නොත් මේ රට විසාලාවක් වෙන එක නවත්වන්න බැහැ.”

පාර්ලිමේන්තු මන්ත්‍රී උදයන කිරිඳිගොඩ මහතා:

“අද පාට, පක්ෂ භේදයකින් තොරව අප කවුරුත් පැමිණ තිබෙන වේදිකාව පුළුවන් කියන වේදිකාවයි. අනිත් වේදිකාවල ඉන්නේ මිනිස්සු ජනතාව දුක් විඳිනකොට බෑ කියලා පැනලා දුවපු කණ්ඩායමයි. මේ වේදිකාවේ මෙන්ම මේ භූමියේ සිටින සියලු ජනතාවට පුළුවන් බව අප හොඳටම දන්නවා. ඔවුන් සියලු දෙනා එක්ව 21 දා රනිල් වික්‍රමසිංහ මහතා යළිත් ජනාධිපති කරනවා.”

පාර්ලිමේන්තු මන්ත්‍රී වේළු කුමාර් මහතා:

“රට වැටුණු වෙලාවෙ තමයි හරි නායකයා කවුද කියලා ජනතාව දැනගත්තේ. ජනතාව දුක් විඳින වෙලාවේ රට භාර නොගත් විපක්ෂයේ නායකයන් සියලු දෙනාම දැන් ආර්ථික ඔස්තාර්ලා වගේ කතා කරනවා”

හිටපු පළාත් සභා මන්ත්‍රීනි ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය:

“මෙවර මැතිවරණය භීතිය පතුරවා ජයග්‍රහණය කරන තැනට අනුර කුමාර අද පත් වෙලා. ජවිපෙ කණ්ඩායම් නිවෙස්වලට ඇවිත් ඡන්දයක් දෙන්නේ කාටද කියා විමසනවා. තර්ජනය කරලා නුවර දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් මනාපය ගන්න බෑ.”