රට පුරා තාක්ෂණවේදය විෂය ධාරව හඳුන්වා දීමට විරුද්ධ වුණේ ජවිපෙ පමණයි-ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

ශ්‍රී ලංකාව පුරා තාක්ෂණවේදය විෂය ධාරාව හඳුන්වා දීමට විරුද්ධව එක්සත් ජාතික පක්ෂයවත් අනිත් කිසිම පක්ෂයක් වැඩ නොකළ බවත්, ජනතා විමුක්ති පෙරමුණ පමණක් එයට විරුද්ධව වැඩ කළ බවත් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ගෑස් සිලින්ඩරය ලකුණින් තරග වදින ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය උදෙසා පෙරේදා (15) වග, කහහේන හා දිද්දෙණිය ප්‍රදේශවල පැවැති ජනතාව දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡා සඳහා එක් වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා:

“මගෙන් රටට වැඩිම වැඩ ප්‍රමාණයක් වෙලා තියෙන්නේ උපන් නූපන් පරම්පරාවල ඉන්න ළමයින්ට. අප පාසල් යන කාලෙ රටේ තිබුණේ විද්‍යාව, කලාව, වාණිජ විෂයන් විතරයි. ඒවා කරලා මේ ලෝකයට අනාගතයේ උපදින ළමයින්ට මුහුණ දෙන්න බැහැ. මා අධ්‍යාපන ඇමැති වශයෙන් රටට අලුතින් තාක්ෂණවේදය විෂය ධාරාව හඳුන්වා දුන්නා. තොරතුරු තාක්ෂණය, ජෛව පද්ධති තාක්ෂණය, ඉංජිනේරු තාක්ෂණය, හා තාක්ෂණවේදය සඳහා විද්‍යාව යන විෂය ධාරාවන්. ඒ යටතේ අපට ශ්‍රී ලංකාවේ දරුවන්ට පරිගණක හතළිහක් තිබෙන පරිගණක විද්‍යාගාරයක්, පරිගණක විස්සක් තිබෙන විවිධ භාෂා හදාරන්න භාෂාගාරයක්, පරිගණකයක් තිබෙන ගණිතාගාරයක් සහිත මහින්දෝදය විද්‍යාගාර දාහක් රට පුරා හදලා තියෙනවා.

“ඊට පස්සේ අප තාක්ෂණය හදාරන්න මහින්දෝදය තාක්ෂණ පීඨ 251ක් රට පුරා හැදුවා. අප විශ්වවිද්‍යාලයට යන කාලේ විද්‍යා පීඨ, වෛද්‍ය පීඨ තිබුණට තාක්ෂණ පීඨ තිබුණේ නැහැ. දැන් විශ්වවිද්‍යාල දහතුනක තාක්ෂණ පීඨ තිබෙනවා. මගේ හෝමාගම ආසනයේ විතරක් තාක්ෂණ පීඨ දෙකක් තිබෙනවා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය සහ කොළඹ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය.

“අප පාසල් දාහක් ලංකාවේ හදාගෙන යනකොට ජනතා විමුක්ති පෙරමුණ ඒවා කඩාකප්පල් කරන්න කටයුතු කළා. ජනතා විමුක්ති පෙරමුණ රටේ යහපත වෙනුවෙන් මොනවත් එකතු කරපු නැති පක්ෂයක්. ඒ නිසා ඒවා කඩාකප්පල් කරන්න රට පුරා පෝස්ටර් ගැහුවා ‘අධ්‍යාපනය වනසන එස්බී, බන්දුල ගෙදර පල!’ කියලා. ප්‍රාථමිකය අයින් කරලා ද්විතීයික පාසල් දාහක් තමයි මෙමඟින් හැදුවේ. තොරතුරු තාක්ෂණයෙන් හා ඉංජිනේරු තාක්ෂණයෙන් අද මුළු ලෝකයටම යන ළමයි වැඩිම ප්‍රමාණයකට යන්න පුළුවන් වුණේ මා අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමැතිවරයා ලෙස සිටිය නිසා. රටේ අනාගතය වෙනුවෙන් කන්නන්ගරගේ නිදහස් අධ්‍යාපනයෙන් පස්සේ අධ්‍යාපනයේ ලොකුම වෙනස එයයි.”

ප්‍රදේශයේ හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයන්, ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.