ෆයිල් මල්ලක් හොල්ලමින් අනුර කුමාර ඡන්ද එකතු කරනවා

ඡන්දයක් පැමිණි විට වංචා හා දූෂණවලට අදාළ අනුරගේ ෆයිල් ගොන්න එළියට එන බවත් මේවා කර තියාගෙන රට වටේ යනවා මිසක ඒ සම්බන්ධව ඔහු අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි නොකරන්නේ ඇයි ද යන්න ප්‍රශ්නයක් බවත් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි. මේවා තනිකරම හිස් ෆයිල් විය හැකි බවත් බොරුවට ඒවා පෙන්වමින් ඡන්ද එකතු කර ගැනීම අනුරගේ අරමුණ බවත් ඒ මහතා කීය.

මහනුවර දී පෙරේදා (14) පැවති සමගි ජන සන්ධානයේ රැස්වීමක දී වැඩිදුරටත් අදහස් දැක් වූ තිස්ස අත්තනායක මහතා මෙසේ ද පැවසුවේය.

“වංචා, දූෂණ නැති කරනවා කියමින් රට වටේ කියමින් ගියාට වැඩක් නැහැ. ඒකට ප්‍රායෝගික වැඩපිළිවෙළක් තිබිය යුතුයි. අනුර දිසානායක මේ වංචා, දූෂණවලට අදාළ ෆයිල් පෙන්වන්නේ දැන් කොච්චර කාලෙක ඉඳල ද?. මෙච්චර තොරතුරු තියාගෙන ඇයි බලාගෙන ඉන්නේ. මේ අයගේ වැඩිපුර තියෙන්නේ කයිවාරුව විතරයි.

ලංකාවේ ඡන්ද මධ්‍යස්ථාන 13000ක් තිබෙනවා. මේ අතරින් 7500 ක් දිනා ගත්තොත් සුව පහසුව අපිට ජනපතිවරණය ජයගත හැකියි. ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් මෙවර පාවිච්චි වන ඡන්ද සංඛ්‍යාව එක්කෝටි හතළිස් ලක්ෂයක් වුණොත් අපි ලක්ෂ 70 ක් ගන්න ඕන. දෙවැනි මනාපයකට නොගොස් අපිට දිනන්න පුළුවන්. හොරකම, වංචාව, දූෂණය පිටු දැකීම තමයි ජනතාවගේ ඉල්ලීම. මේක අත්හදා බැලීම් කරන්න වෙලාවෙක් නෙවෙයි. අත්හදා බලන්න ගිහින් පටලවා ගන්න එපා කියලා මම ජනතාවට කියනවා. දේශපාලනයෙන් තොර නායකයෙක් 2019 දී ගේන්න ගිහින් වෙච්ච දේවල් අපිට හොඳට මතකයි.

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රායෝගික එකක් නෙවෙයි. ඒක 2025 සාහිත්‍ය සම්මාන උළෙලට ඉදිරිපත් කළොත් හොඳම කතන්දර පොතට හිමි ත්‍යාගය අනුරට දිනා ගන්න පුළුවන්. මාවනැල්ලේ රැස්වීමක දී මම කළ කතාවක් අල්ලගෙන ජාතික ජන බලවේගය ලක්ෂ 1000 ක් ඉල්ලලා නඩුවක් පවරලා. ජාතික ජන බලවේගය සත්ත්ව හිංසාව ගැන වේදනාවෙන් කතා කරනවා. මම කිව්වා මේ අය බලයට ආවොත් දළදා පෙරහර කරන්න වෙන්නේ නැහැ කියලා. ඒකට මේ අය නඩු දාලා. නඩු දැම්ම එකට මම කැමැතියි. නඩුවට මම සාක්කිකාරයෝ 150 ක් විතර ගෙනල්ලා 1987 දළදා පෙරහර වළක්වන්න බෝම්බ ගැහුවේ කවුද කියලා අහනවා. ට්‍රාන්ස්ෆෝමර් පුපුරවලා, බස් ගිනි තියලා බිලියන 200 ක විතර ආර්ථික හානියක් රටට කළේ කවුද කියලා මට අහන්න පුළුවන්. එතකොට ඒ අය ඒවට උත්තර දෙන්න ඕන.”