ඇල්ල පුංචි ශ්‍රී පාදයේ ගින්නෙන් අක්කර 50ක් විනාශයි

ඇල්ල පුංචි ශ්‍රී පාද කන්දේ හටගත් ගින්න දින තුනක් පුරා ඊයේ (15) වනවිටත් පැතිර යමින් තිබූ බවත්, ගින්නෙන් අක්කර පනහක පමණ කොටසක් විනාශ වී ඇතැයි ඇල්ල ප්‍රාදේශීය ලේකම් ඉන්දික ගයාන් පතිරණ මහතා පවසයි. පවතින අධික වියළි දේශගුණික තත්ත්වයත් සමඟ ඉකුත් 13 දින පස්වරුවේ කිසිවකු විසින් මෙසේ ඇල්ල පුංචි ශ්‍රී පාද කඳුවැටියට හොර රහසේ ගිනිතබා තිබේ. මේ වනවිටත් ගින්න පවතින සුළං සමඟ තවදුරටත් පැතිර යමින් පවතින බවත් හෙතෙම කීය.

බදුල්ල, එළදලුව යුදහමුදා කඳවුරේ නිලධාරීන්, ඇල්ල පොලිසිය, වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ආපදා කළමනාකරණ ඒකකය, හිබිලියගොල්ල, ගල්ලෙනකුඹුර ගම්වාසීන් එක්වී පුංචි ශ්‍රී පාද කන්දේ පැතිර යමින් තිබූ ගින්න නිවා දැමීමට කටයුතු කළ ද ඊයේ (15) දහවල් වනවිටත් ගින්න ක්‍රමක්ක්‍රමයෙන් පැවති බව ඇල්ල ප්‍රාදේශීය ලේකම්වරයා පවසයි.

අධික කඳු බෑවුම් සහිත මෙම පුංචි ශ්‍රී පාද කන්දේ එම ස්ථානවලට ළඟා වීමට ඇති අපහසුතාව නිසාවෙන් ගින්න නිවාදැමීමට අපහසු වී තිබේ.

මේ අතර කුඹල්වෙල, මහමෙව්නා අසපුව රක්ෂිතයේ සහ කිතල් ඇල්ල ප්‍රදේශයේ ඇති වූ ගිනිගැනීම් මේවනවිටත් නිවා දමා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

විශේෂයෙන් මේ දිනවල පවතින අධික වියළි දේශගුණික තත්ත්වයත් සමඟ වන රක්ෂිත, ලදු කැලෑවන්, පතන්වලට ගිනිතබන පුද්ගලයන් පිළිබඳ තොරතුරු වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ 0711990670 හෝ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල 0773957880 යන දුරකතන අංකවලට දැනුම් දෙන ලෙසත් එම තොරතුරු දෙන අයගේ අනන්‍යතාව ආරක්ෂා කරන බවත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.