කතරගම මත්පැන් අලෙවිසලක් දැමීමට ශාසනාරක්ෂක බලමණ්ඩලයේ විරෝධය

කතරගම මත්පැන් අලෙවිහලක් (වයින් ස්ටෝස්) දැමීමට විරෝධය පා කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ හිමිවරු සහ ප්‍රදේශවාසීහු පෙරේදා (14) විරෝධතාවක නිරත වූහ.

කතරගම පූජා භුමියක් ලෙස නම් කර ගැසට් කර තිබියදී පූජා භූමියට ළංව මෙම මත්පැන් අලෙවිසල් බලපත්‍රය හම්බන්තොට දිස්ත්‍රික් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා වෙත දී ඇති බව කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකම් කතරගම ශ්‍රී අභිනවාරාම විහාරාධිපති ශාස්ත්‍රපති කපුගම සරණතිස්ස හිමියෝ පැවසූහ.

මෙම බලපත්‍රය නීති විරෝධී ලෙස ලියකියවිලි සකස් කර තිබේ. කතරගම පොලිස් බලප්‍රදේශයෙන් ලබාගත යුතු අවසරපත ඇඹිලිපිටිය පොලිසිය මඟින් ගෙන ඇති බව තහවුරු වේ. කතරගම පූජා භූමි ලෙස ගැසට් මඟින් සඳහන් කර ඇත්තේ ගම්උදා හන්දියේ බවත් එම නීතිය උල්ලංඝනය කර නගරය ආසන්නයේ මෙම මත්පැන් අලෙවිහල පිහිටුවා තිබේ.

මෙම මත්පැන් අලෙවිසලට විරෝධය පා කතරගම විහාස්ථාන රැසක හිමිවරු සහ ප්‍රදේශයේ ජනතාව විරෝධතාවක් පවත්වා මෙය ඉවත් කරන ලෙස ඉල්ලා සිටියහ.

රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කතරගම ශ්‍රී අභිනවාරාම විහාරාධිපති ශාස්ත්‍රපති කපුගම සරණතිස්ස හිමියන් සහ වැඩසිටි කන්ද රාජමහා විහාරාධිපති ශ්‍රාස්ත්‍රපති හිල්ලේ ඥානානන්ද හිමියන් මේ සම්බන්ධයෙන් සුරාබදු කොමසාරිස්වරයා වෙත ජංගම දුරකතන මඟින් කතා කර විරෝධය පා මෙය නවතා නෙදැමුවහොත් මාරාන්තික උපවාසයක් දක්වා ⁣රැගෙන යන බවද පවසා තිබුණහ.

මේ අවස්ථාවට සෙල්ලකතරගම මහසෙන් රාජමහා විහාරාධිපති බඩල්ගම ජනානන්ද හිමි, සෙල්ලකතරගම වතුරුවා රාජමහා විහාරාධිපති ආචාර්ය හේමරතන හිමි, මල්ලිකාරාම විහාරාධිපති ආචාර්ය හබරාදුවේ ඥානමොලි හිමි, වල්ලිමාතා රාජමහා විහාරාධිපති ඇත්තඳුරේ විපුලභද්‍ර හිමියන් ඇතුළු සංඝයාවහන්සේ පැමිණ විරෝධය පෑහ.