නීතිය හා සාමය බිඳ වැටෙයි-බංග්ලා­දේ­ශයේ ව්‍යාපා­රික ප්‍රජාව රජ­යෙන් ආර­ක්ෂාව ඉල්ලයි

නීතිය හා සාමය බිඳ වැටීම හේතු­වෙන් සිය කර්මා­න්ත­ශාලා සහ ව්‍යාපා­රික ස්ථාන විරෝ­ධ­තා­ක­රු­ව­න්ගෙන් රැක ගැනීම සඳහා කඩි­න­මින් ආර­ක්ෂාව සහ­තික කරන ලෙස බංග්ලා­දේ­ශයේ සමස්ත ව්‍යාපා­රික ප්‍රජාව අන්ත­ර්වාර රජ­යෙන් ඉල්ලී­මක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එරට ව්‍යාපා­රික නාය­ක­යන්, බැංකු පද්ධ­තියේ නිල­ධා­රින් සහ තොර­තුරු තාක්ෂණ ක්ෂේත්‍ර­යට සම්බන්ධ වෘත්තීය­වේ­දීන් රැසක් පසු­ගි­යදා එම ඉල්ලීම කළ බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

ව්‍යාපා­රික ස්ථාන සහ කර්මා­න්ත­ශා­ලා­ව­ලට විරෝ­ධ­තා­ක­රු­ව­න්ගෙන් ප්‍රහාර එල්ල­වන අව­ස්ථා­වේදී පොලි­සිය එම ස්ථාන­යෙන් ඉව­ත්වීම බර­ප­තළ කරු­ණක් බවත්, කාර්මික ජන­ප­ද­වල ස්ථාපිත කර ඇති පොලිස් ස්ථාන­වල ක්‍රියා­ක­ලා­පය අති­ශය කන­ගා­ටු­දා­යක බවත් එහිදී ව්‍යාපා­රි­ක­යන් රජ­යට පෙන්වා දී ඇතැයි ද වාර්තා වේ.

පසු­ගිය මාසයේ බංග්ලා­දේ­ශයේ උද්ගත වූ ශිෂ්‍ය විරෝ­ධතා අත­ර­තුර පොලිස් නිල­ධා­රින් විශාල පිරි­ස­කට ප්‍රහාර එල්ල­වීම හේතු­වෙන් පොදු ස්ථාන­ව­ලදී අවශ්‍ය දැඩි ක්‍රියා­මාර්ග ගැනී­මෙන් පොලි­සිය වැළකී සිටින බවත්, එය විරෝ­ධ­තා­ක­රු­වන්ට සිය අර­මුණු ඉටු කර­ගැ­නී­මට වාසි­දා­යක තත්ත්ව­යක් නිර්මා­ණය කර ඇති බවත් එරට ව්‍යාපා­රික ප්‍රජාව අන්ත­ර්වාර රජ­යට කරුණු පෙන්වා දී ඇතැයි ද වාර්තා වේ.