පාණදුර හොරණ මාර්ගයේ පින්කොටුව හන්දිය ප්‍රදේශයේදී වාහන 6ක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් මවුවරුන් දෙදෙනකු සහ ඔවුන්ගේ දරු දෙදෙනා තුවාල ලබා රෝහල්ගත කළ බව අළුබෝමුල්ල පොලිසිය කියයි.
තුවාල ලබා ඇත්තේ මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත පිරිමි දරුවන් දෙදෙනෙකි. සිදුවූ අනතුරින් ඔවුන් ගමන් ගත් කුලී ත්‍රිරෝද රථයට මෙන්ම සුඛෝපභෝගී ජීප් රථයට බරපතළ අලාභ සිදු වී ඇති අතර මෝටර් රථ තුනකට සහ වෑන් රථයකට තරමක අලාභ සිදු වී ඇතැයි පොලිසිය කියයි.
තුවාල ලද සිසුන් දෙදෙනා පාණදුර ප්‍රදේශයේ එකම පාසලක ඉගෙනුම ලබන අතර අළුබෝමුල්ල ජනප්‍රිය මාවතේ පදිංචි සිසුවාගේ නිවස කරා එම සිසුවා සහ ඔහුගේ මව සමග වාද්දුව පොහොද්දර මුල්ලේ සිසුවා සහ මව කුලී ත්‍රිරෝද රථයකින් පාණදුර සිට හොරණ මාර්ගයේ යමින් සිටියදී මෙම අනතුර වී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත පින්කොටුව ප්‍රදේශයේදී වම් පස අතුරු මාර්ගයට වෙනත් වාහනයක් හැරවීමට සූදානම් වීම හේතුවෙන් ත්‍රිරෝද රථය නවතා ගෙන සිටියදී පාණදුර සිට හොරණ දෙසට ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී ජීප් රථය එම දිශාවටම ධාවනය වූ මෝටර් රථයක සහ නවතා තිබූ මෝටර් රථයක හප්පාගෙන පැමිණ ත්‍රිරෝද රථයේ සහ මෝටර් රථයක පිටුපස ගැටි ත්‍රිරෝද රථය ඉදිරියට ඇදී ගොස් අසල නවතා තිබූ වෑන් රථයක පිටුපස ගැටී මෙම අනතුර වී තිබූ බව පොලිසිය කියයි.
සුඛෝපභෝගී ජීප් රථයේ රියැදුරුට නින්දයාම හේතුවෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය සඳහන් කරයි. තුවාල ලද මවුවරුන් දෙදෙනා සහ දරු දෙදෙනා පානදුර මූලික රෝහලේ අංක තුන වාට්ටුවේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය. අළුබෝමුල්ල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසංක රාජකරුණා මහතාගේ උපදෙස් මත රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චාමින්ද මහතා ඇතුළු පොලිස් නිලධාරීන් පරීක්ෂණ පවත්වයි.