ජනපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් ඉදිරිපත් කර තියෙන්නේ එකම වැඩපිළිවෙළක්

මෙවර ජනාධිපතිවරණයේදී සෙසු ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනාම ඉදිරිපත් කර ඇත්තේ එකම වැඩපිළිවෙළක් බව සර්ව ජන බලයේ ජනපති අපේක්ෂක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පැවැසීය.

ඒ මහතා මේ බව පැවැසුවේ පෙරේදා (11) නිට්ටඹුවේ පැවති ‘දිලිත් ගමට’ ආසන රැස්වීම් මාලාවේ තවත් ජන හමුවක් අමතමිනි.

එහිවැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීවේය.

“මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒකෙන් තුන් හතර දෙනෙක් සාම්ප්‍රදායික දේශපාලන පක්ෂවලින් ඉදිරිපත් වෙලා තියෙනවා. අනිත් අය ඇවිත් තියෙන්නේ ඒ දේශපාලන පක්ෂවලට මුක්කු ගහන්න. මගේ නම තියෙන්නේ දහයට. ඉතුරු නම් නවම අහලවත් නෑ. ඒ අය ඇවිත් තියෙන්නේ ජනතා මුදල් විනාශ කර, අර සාම්ප්‍රදායික දේශපාලන මඩගොහොර නියෝජනය කරන අයට මුක්කු ගහන්න. දැන් ඒ අය ඉදිරිපත් කර තියෙනවා දේශපාලන වැඩපිළිවෙළ තුනක්. ඔය තුනේම තියෙන්නේ එකක්. අපි ඒ වෙනුවට ගෙනාවා උපාය මාර්ගික වැඩපිළිවෙළක්. මේ රටේ සෑම මිනිසකුගේම අදහස් නියෝජනය වන උපාය මාර්ගික වැඩපිළිවෙළක්.

21 වැනිදා උදේ ඡන්දෙ දාලා, දෙවැනි මනාපය නිසා 23වැනිදා තමයි ප්‍රතිඵල ලැබෙන්නේ. 23 වැනිදා උදේ නැඟිටිනකොට අර පාන්දර අහසේ තරුව පෙනුණේ නැත්නම් එක දෙයක් සහතිකයි. තුන්වෙනි ලෝකයේ රටක සිට යම ලෝකය ආරම්භවී ඇත. නමුත් ඔබ තරුව දිලිසෙනවා දැක්කොත් ඒ කියන්නේ ඔබේ ජීවිතේ වෙනස් වෙලා.

ඔය ජනාධිපතිවරණයට ඉල්ලන කොළ පාට, කහ පාට, දම් පාට සියලු දෙනා ඔබට දුක් දීපු දිනය අවසන් වෙනවා 23 වැනිදාට. මේ රටේ මින් ඉදිරියට හොරකම් කරන්න අවස්ථාව අහිමිවෙන දිනය ආරම්භ වෙන්නේ එදාට. මේ සියලු ජනතාවගේත්, සුඛෝපභෝගී ජීවිත ගත කරන සියලු දේශපාලනඥයන්ගේ ජීවිතත් එදාට එක සමාන වෙනවා. මොකද ඔබ සියලු දෙනාටත්, ඔවුන්ටත් අනන්‍ය හැඳුනුම් අංකයක් හිමි වෙනවා. එදායින් පස්සේ කාටවත් කියන්න බෑ ලාල්කාන්ත සහෝදරයා කලිසම දුන්නා කියලා.”