මා ජනපතිවරණයට එන්නේ ජාතිය-ආගම මුල් කරගෙන නොව රටේ ආර්ථික ප්‍රශ්නය විසඳන්නයි

අපේ රටටත් වෙන්න ගියේ අද බංග්ලාදේශයට වී ඇති දේමයි
– විදේශ කටයුතු ඇමැති එම්.යූ.එම්. අලි සබ්රි

ජනපති රට යථා තත්ත්වයට පත් කළා ඒක ලේසි පහසු කටයුත්තක් නොවෙයි
– රාජ්‍ය ඇමැති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්

මුස්ලිම් කොංග්‍රසයට අද තැනක් නෑ ජනතාව ඉන්නේ අපිත් එක්ක
– පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සහීර් මවුලානා

ජනපතිතුමා ඉදිරිපත් වී තිබෙන්නේ ජනතාවගේ බඩගින්න-දුක නිවන්නයි
– පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.එම්. මුෂාරෆ්

නැඟෙනහිර මුස්ලිම් ජනයා රවටන්න රවුෆ් හකීම්ට, රිශාඩ් බදියුදීන්ට බෑ
– පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එම්.එල්. අතාවුල්ලා

රනිල් මොන අභියෝගය භාර ගත්තත් එය සාර්ථකව ජය ගෙන තිබෙනවා
– හිටපු රාජ්‍ය ඇමැති දයා ගමගේ

තමා මෙවර ජනපතිවරණයට ඉදිරිපත් වන්නේ ජාතිය හෝ ආගම මුල් කරගනිමින් දේශපාලනය කරන්නට නොව රටේ ආර්ථික ප්‍රශ්නය විසඳන්නට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (11) ප්‍රකාශ කළේය. ඔහු මේ අදහස් පළ කළේ ‘පුළුවන් ශ්‍රී ලංකා’ තේමාව යටතේ අම්පාර සායින්දමරදු සහ තිරුක්කෝවිල්හි පැවති ජන රැලි අමතමිනි.

මේ ජන රැලි අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය:

“2004 සුනාමියෙන් පසු මා මේ තිරුක්කෝවිල් ප්‍රදේශයට ආවා. අප මේ ප්‍රදේශයේ සිට කටයුතු කර ආධාර දුන්නා. දැන් මේ ප්‍රදේශය ඊට වඩා දියුණු වී තිබෙනවා. අප තවත් මේ ප්‍රදේශයට දියුණුවක් ඇති කරනවා.

“මා ජනාධිපති වුණේ රටේ ආර්ථිකය කඩාවැටුණු අවස්ථාවකයි. 2022 වසරේ කෑම,බෙහෙත්, ඉන්ධන, ගෑස් කිසිම දෙයක් තිබුණේ නැහැ; විදුලියවත් තිබුණේ නැහැ; ජනතාව අසීරුවෙන් ජීවත් වුණා. මේ කාන්තාවන් සියලු දෙනාට එය මතක ඇති. මෙවැනි දියුණුවක් ලබාගන්න හැකි වේයැයි එදා කිසිවකු සිතුවේ නැහැ. එහෙත් මා අභියෝගය භාර ගත්තා. එදා එය භාර ගන්න හිටියේ අනුර කුමාර දිසානායක හෝ සජිත් ප්‍රේමදාස හෝ හිටියේ නැහැ. මා එම අභියෝගය භාර ගෙන අද හොඳ තත්ත්වයක් උදා කර තිබෙනවා. අද විදුලිය ආහාර ඉන්ධන ගෑස් සියල්ල තිබෙනවා. සාමාන්‍ය ජීවිතයක් උදා කර තිබෙනවා.

“මේ රටේ ණය බර වැඩි බවත්, ආර්ථිකය කඩාවැටෙන බවත් මූල්‍ය අරමුදල කියා සිටියා. ලංකාවට ණය ගන්න එපා කිවුවා. එහෙත් මා කළ ඉල්ලීම අනුව, දළ දේශීය නිෂ්පාදනයෙන් 5%ක් දක්වා ණය ගත හැකි බව මූල්‍ය අරමුදල පැවසුවා. මුදල් අච්චු ගහන්න එපා කිවුවා. මුදල් අච්චු ගැහුවොත් රුපියල තවත් බාල්දු වන බව කිවුවා. බැංකු කඩාවැටෙන නිසා බැංකුවලින් ණය ගන්න එපා කිවුවා. අප රටේ ආදායම වැඩි කළේ මේ සීමාව ඇතුළේ සිටයි. දැන් බඩු භාණ්ඩ තිබෙනවා. ඒත් ඒවා ගන්න අතේ තිබෙන මුදල් ප්‍රමාණවත් නෑ . අස්වැසුම මඟින් සමෘද්ධිය වගේ තුන් ගුණයක් මුදල් දුන්නේ ඒකයි. රජයේ සේවකයන්ගේ දීමනා හා පඩි වැඩි කරන්න කටයුතු කළා. ඊළඟ වසර පහේදී මේ අර්බුදය විසඳන්නට මා කටයුතු කරනවා. එමෙන්ම බඩු භාණ්ඩ අඩු මිලට ගැනීමට අවස්ථාව දෙනවා.

“ඉදිරියේදී කෘෂි නවීකරණ වැඩසටහනක් හඳුන්වා දෙනවා. කර්මාන්තයේ සඳහා අලුත් තාක්ෂණය යොදවනවා. ස්මාර්ට් කෘෂිකර්මය හඳුන්වා දෙනවා. මේ ප්‍රදේශයේ වී වගාව හෙක්ටයාර් එකකට මෙට්‍රික් ටොන් අට දක්වා වැඩි කිරීමට ආධාර දෙනවා. නව තාක්ෂණය සමඟ කෘෂිකර්මය දියුණු කරනවා. ධීවර අංශය දියුණු කරනවා. එමෙන්ම ඛනිජ වැලි කර්මාන්තය දියුණු කරනවා. නව ආර්ථිකයක් ලබාදීම අපේ අරමුණයි. රටට ආර්ථිකයක් දෙන විට මේ ප්‍රදේශයටත් නව ආර්ථිකයක් දෙනවා. මුළු ලෝකෙටම ආහාර සැපයීම සඳහා අප කෘෂි නවීකරණයක් කරනවා. ඩිජිටල් ආර්ථිකයක් ගෙන ඒම එහි අරමුණයි. ත්‍රිකුණාමලයේ විශාල ආයෝජන කලාපයක් ඉදි කරනවා. පළාත් සභා තව ශක්තිමත් කරනවා. ඊට සංවර්ධන වැඩ කටයුතු සඳහා බලතල දෙනවා. අනාගතය දිය යුත්තේ තරුණ අයටයි. තව වසර විස්සකින් මීට වඩා හොඳ රටක අප ජීවත් වන බවට ඔවුන්ට විශ්වාසයක් තිබිය යුතුයි. අද වසර පහේ දරුවාට 25ක් වන විට ඔහුට හොඳ රටක් තිබිය යුතුයි. ඒ අනාගතය උදා කර දීමට අප කටයුතු කරනවා. එමෙන්ම මෙහි පරිපාලන ප්‍රශ්න විසඳනවා.

“සජිත්ට හෝ අනුරට මේවා කරන්න බැහැ. ඔවුන්ට කරන්න පුළුවන් කතා කරන්න පමණයි. ඒ අය ආවොත් ආර්ථිකය නැවත වැටෙනවා. එය කරගන්න කැමතිද? රටට දියුණුවක් අවශ්‍යයි. මහ පාරේ වසාදමා තිබූ කඩ සියල්ල නව ආර්ථිකය සමඟ විවෘත කර තිබෙනවා. ඒ තාවකාලික තත්ත්වය ස්ථිර කළ යුතුයි.

“ජනපතිවරණයට මා මෙවර ඉදිරිපත් වන්නේ ජාතිය හෝ ආගම මුල් කරගනිමින් දේශපාලනය කරන්න නොවේ. රටේ ආර්ථික ප්‍රශ්නය විසඳන්නටයි. වෙළෙඳාම සහ ගොවිතැන ආරක්ෂා කරමින් ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරන්නයි. ජනපතිවරණයෙන් ලබන වරමින් පසු ස්ථාවර ආර්ථිකයක් අප ගොඩනඟනවා. මුස්ලිම් ජනතාවට වූ ප්‍රධාන ප්‍රශ්නය මා විසඳා දුන්නා. ඔවුන්ගේ මියගිය අයගේ සිරුරු භූමදාන කිරීමේ අයිතිය නීතියෙන් අරන් දෙනවා. අනෙක් අය මේවා ගැන කතා කරන්නේ ඡන්ද සමයේ. මා කතා කරන්නේ ඡන්දෙ කාලෙ නොවේ. මා මෙහි ඇවිත් තියෙන්නේ වැඩේ ඉවර කරලා. ආගම ගැන කතා කරද්දී එය එක කාරණයක් විතරයි. ජනතාව වෙළෙඳාම් කරනවා. මුස්ලිම් ජනතාව ගොවිතැන් කරනවා. වෙළෙඳාම සහ ගොවිතැන නැති වුණොත් මුස්ලිම් ජනතාව ඉවරයි. වෙළෙඳාම ගොවිතැන දියුණු කරන්න පුළුවන් කාටද කියා මුස්ලිම් කොංග්‍රසයෙන් අහන්න. ඒක ගැන සිතා ඡන්දය දෙන්න. ඔබට ජීවත් විය යුතුයි. කළ යුත්තේ කුමක්ද? ජීවන බර වැඩි බව මමත් පිළිගන්නවා. ඊළඟ වසරේදී මා තවත් ජීවන බර සැහැල්ලු කරනවා.

“සජිත් හැමදාම මොකක් හරි නොමිලේ දෙන බව කියනවා. හිසරදයත් නොමිලේ දෙන්නම් කියනවා. ඒ කට්ටිය මුලින් බය වෙලා දුවලා, දැන් ඒ අයගේ අනාගතය ගැන සිතා ජනාධිපති වෙන්න හදනවා. මගේ ගෙදර ගිනි තබද්දී ඔබේ අනාගතය ගැන සිතා මා ක්‍රියා කළා. ජීවන බර වැඩි වූ වෙලාවේ මෙය භාර ගෙන ජීවන බර අඩු කළේ නැත්තේ ඇයිදැයි මා සජිත්ගෙන් අහනවා. මා අමාරු අවස්ථාවේ භාර ගෙන රට ගෙනයනවා. නැවත ආර්ථිකය භාර දෙන්න කියන්නේ දමා දුවපු අයටද? අපි මේ ආර්ථිකය ශක්තිමත් කරමින් ඉදිරියට ගෙන යමු. මා මෙහි හොඳ සාප්පු සංකීර්ණයක රේස් සපත්තු තිබෙනු දුටුවා. ආර්ථිකය වැටෙද්දී දුවපු අය මෙහේ ආවොත් ඒ සපත්තු දෙන්න!”

රාජ්‍ය ඇමැති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා:

නැඟෙනහිර පළාතේ ජනතාව ජනාධිපතිතුමාට ඡන්දය දීමට ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒ එතුමා වැඩක් කරලා පෙන්නපු නිසයි. පහුගිය අවුරුදු දෙකහමාරේ ආර්ථික ප්‍රශ්නයක් ආවා. දකුණේ වාගේම උතුරේ හා නැඟෙනහිර අපත් ඉන් විශාල වශයෙන් පීඩාවට පත් වුණා. එතුමා ඒ ආර්ථික ප්‍රශ්නයෙන් බැටකෑ අපට සහනයක් වුණා; නැවත රට යථා තත්ත්වයට පත් කළා. ඒක ලේසි පහසු කටයුත්තක් නෙවෙයි.”

හිටපු රාජ්‍ය ඇමැති දයා ගමගේ මහතා:

“අද නැඟෙනහිර පළාතේ සංවර්ධනයක් ඇති කරන්න අඩිතාලම දමා තිබෙනවා. සංචාරක කර්මාන්තයේ ගොවිතැන කර්මාන්ත ව්‍යාපාර යළි ආරම්භ වෙන්න පටන් අරන් තිබෙනවා. ඒවා ආරම්භ කරන්න රජයෙන් පහසුකම් අවශ්‍යයි. ඒ පහසුකම් සලසා දීමට හැකියාව තිබෙන්නේ. වැඩපිළිවෙළක් තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට පමණයි. එතුමා මොන අභියෝගය භාර ගත්තත් එය සාර්ථකව ජය ගෙන තිබෙනවා. ඒ නිසා මෙවර එතුමාට යළිත් බලය දිය යුතුයි.”

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සහීර් මවුලානා මහතා:

“අද සජිත් ප්‍රේමදාසගේ වේදිකාව බලන්න. එතන ආනන්ද සාගර හාමුදුරුවෝ ඉන්නවා; ජෙනරාල් මහේෂ් සේනානායක ඉන්නවා; පාඨලී චම්පික රණවක ඉන්නවා; ඒ ළඟම රිෂාඩ් බදියුදීන් ඉන්නවා; රවුෆ් හකීම් ඉන්නවා. පසුගිය කාලේ ඔවුන්ට විවිධ චෝදනා නැඟූ පිරිස් එකම වේදිකාවේ! මේ අය අතරින් කාටද ලජ්ජා නැත්තේ කියලා මට හිතාගන්න බෑ. අද නැඟෙනහිර මුස්ලිම් කොංග්‍රසයට තැනක් නැහැ. ජනතාව ඉන්නේ අපිත් එක්ක.”

විදේශ කටයුතු ඇමැති ජනාධිපති නීතිඥ එම්.යූ.එම්. අලි සබ්රි මහතා:

“අද සටන තිබෙන්නේ මේ රට ආර්ථික වශයෙන් කඩාවැටුණු වෙලාවේ එයින් බේරාගත් නායකයයි, ඒ අභියෝගය භාර ගන්න බැරුව දුවපු නායකයනුයි අතරයි. එදා පක්ෂයේ හිටපු තනි මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ අභියෝගය භාර ගත්තා. ඔහු අද වන විට ආර්ථිකය ගොඩනඟා තිබෙනවා. දැන් බංග්ලාදේශයට, මාලදිවයිනට වෙලා තියෙන්නේ මොකක්ද? අපේ රටටත් වෙන්න ගියේ එවැනි දෙයක් තමයි. අපේ වාසනාවට රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ හිටියා.”

අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.එම්. මුශාරෆ් මහතා:

“අපේ රටේ ජාති ආගම් කුල මල භේද කිසිවක් නැති එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා. එතුමා ඉදිරිපත් වෙලා තියෙන්නේ ජනතාවගේ දුක නිවන්න. එතුමා ජනතාවගේ බඩගින්න දන්නවා. බඩගින්නට දේශපාලනයක් නැහැ, ආගමක් නෑ, කුලයක් නෑ. ඒ බව ජනාධිපතිවරයා නිතරම කියනවා.

ජනතාවගේ දුක නිවන්න මාලිමාවටවත්, සමඟි ජන බලවේගයටවත් සැලසුමක් නෑ. ඒ නිසා ඔවුන්ට රැවටෙන්න එපා. ජනාධිපතිතුමා රාජපක්ෂලා රකින්නේ නැහැ. එතුමා රකින්නේ රටේ ජනතාවයි. ඒ නිසා තවත් වසර පහක් එතුමාට රට භාර කරමු.”

ජාතික කොංග්‍රස් නායක, අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එම්.එල්. අතාවුල්ලා මහතා:

“මීට අවුරුදු දෙකහමාරකට ඉස්සර තිබුණු අඳුරු කාලය අවසන් කළේ ජනාධිපතිතුමයි. මේ සයින්දමරුදු නගරයේ සිට මා දකුණේ ඉන්න සිංහල ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා: ආදරණීය අම්මේ තාත්තේ, ඔබ ඔබේ වටිනා ඡන්දය රනිල් වික්‍රමසිංහ මහතාට දෙන්න. නැඟෙනහිර මුස්ලිම් ජනතාව ඒ සඳහා එකතු වෙලා ඉවරයි. මුස්ලිම් ජනතාව නියෝජනය කරන රවුෆ් හකීම්, රිශාඩ් බදියුදීන් ජනතාව රවට්ටනවා. ඔවුන් කවුද කියලා මටත් වඩා ජනාධිපතිතුමා දන්නවා. ඒ දන්න තොරතුරු ඔබතුමා මේ ජනතාවට කියන්න කියා මා ඉල්ලා සිටිනවා.”

නැඟෙනහිර පළාත් සභාවේ සහ පළාත් පාලන ආයතනවල හිටපු මහජන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් මේ ජන රැලි සඳහා සහභාගි වී සිටියහ.