නීතිය ඉදිරියේ සැවොම සමානයි කියන වැකියට පණ දෙනවා

තමන් බලයට පැමිණි පසු නීතිය ඉදිරියේ සැවොම සමානයි යන වැකියට පණ දෙන බව ජාතික ජන බලවේගයේ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඇමැතිවරු, මන්ත්‍රීවරු, ව්‍යාපාරිකයන් ඇතුළු ඇති නැති සියලු දෙනා නීතිය ඉදිරියේ සමාන විය යුතු බවත් ඔවුන් කිසිවකුටත් නීතියට ඉහළින් සිටිය නොහැකි බවත් ඒ මහතා කීය.

මහනුවර මහයියාව වේවැල්පිටිය ක්‍රීඩාංගණයේදී පෙරේදා (11) පැවති ජනහමුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක මහතා මෙසේ ද පැවසුවේය. එක් පැත්තකින් නීතිය ශක්තිමත්. අනෙක් පැත්තෙන් රටේ ආර්ථිකය ශක්තිමත් කළ යුතුයි. ඒ සඳහා ශක්තිමත් ජාත්‍යන්තර සම්බන්ධතා ගොඩනඟා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක්. ජපානය, ඉන්දියාව, චීනය ඇතුළු රටවල් ගණනාවක රාජ්‍ය නායකයන් හමුවී මාලිමා රජයක් යටතේ අනුගමනය කරන විදේශ ප්‍රතිපත්තිය ඇතුළු කාරණා ගණනාවක් ගැන සාකච්ඡා කළා. රටක් ලෙස හුදෙකලා වී අපට ඉදිරි ගමනක් නැහැ. ඒ සඳහා ශක්තිමත් රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ගොඩනඟාගත යුතුයි.

මෙතෙක් කල් මේ රටේ බිහි වී තිබෙන්නේ සියලු දේ බදාගන්නා ආණ්ඩුයි. ඉතිහාසයේ පළමු වතාවට ඉදිරි ජනපතිවරණයෙන් පසු මැති ඇමැතිවරුන්ගේ වරප්‍රසාද අත්හරින ආණ්ඩුවක් බිහිවෙනවා. මුලින්ම අප පාර්ලිමේන්තුව පිරිසුදු කරගත යුතුයි. ජනාධිපතිවරණය ජය ගත් විගස පාර්ලිමේන්තුව විසුරුවා හැර එහි සිටින දූෂිතයන් තාවකාලිකව ඉවත් කරනවා. ඊට පසුව එන මහ මැතිවරණයේදී ජනතාවට පුළුවන් තමන්ගේ ඡන්දයෙන් ඒ අය ස්ථිර ලෙසම පාර්ලිමේන්තුවෙන් ඉවත් කරන්න.

අනෙකාට නියපොතු තුඩකින් හෝ නොරිදවා ජයග්‍රහණය සමරන්නේ කෙසේද යන්න පිළිබඳ සැප්තැම්බර් 22 වැනිදා මාලිමාව ඔප්පු කර පෙන්වනවා. මාලිමාවට ඡන්දය දුන් නොදුන් කිසිවකුට හෝ හිංසාවක් පීඩාවක් සිදුවන්න අප ඉඩ තබන්නේ නැහැ. ආරම්භයේදීම නව දේශපාලන සංස්කෘතියකට අප මුල පුරන්නේ ඒ විදිහටයි.

මාලිමා රජයක් යටතේ මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය පවත්වන්නට නොහැකි වේ යැයි තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබුණා යැයි කීවේය.