ශ්‍රේෂ්ඨාධිකරණය හදිසි කටයුත්තක් ලෙස සලකයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාවේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට නොගත් බවට චෝදනා කරමින් තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බැවින් එය වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරුන් වන ශානි අබේසේකර සහ රවි සෙනෙවිරත්න යන මහත්වරුන් ගොනු කළ පෙත්සම හදිසි කටයුත්තක් ලෙස සලකා කඩිනමින් සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (12) තීරණය කළේය.

ඒ අනුව අදාළ පෙත්සම ලබන 20 වැනිදා සලකා බැලීමට නියම කෙරිණ.

යසන්ත කෝදාගොඩ, අචල වෙන්ගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී මේ බව තීරණය කෙරිණි.

පෙත්සම සම්බන්ධයෙන් නොතීසි නොලැබුණු වගඋත්තරකරුවන්ට එම නොතීසි දන්වා යවන ලෙස පෙත්සම්කාර පාර්ශ්වයට නියම කරන ලදි.

පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ඇතොත් ලබන 19 වැනිදා ගොනුකරන ලෙස වගඋත්තරකරුවන්ට නියම කෙරිණ.

නීතිඥ මංජුල බාලසූරිය මහතා මඟින් ගොනු කර ඇති පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස හේෂාන් පෙරේරා, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා, පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටියහ.

තමන් මෙරට පොලිසියේ සේවය ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වන බව පෙත්සම්කරුවෝ කියති.

ජාතික ජන බලවේගයේ රැස්වීමක් පසුගිය ජූලි 6 වෙන දින මහරගම ජාතික තරුණ සේවා සභාවේ පැවැත්වූ අතර 25,000කට අධික විශ්‍රාමික පොලිස් නිලධාරීන් පිරිසක් ඊට සහභාගිවූ බවද ඊට තමන් ද සහභාගි වූ බව ද පෙත්සමෙහි සඳහන් වේ.

විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන පාලිත සිරිවර්ධන තමන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර ඇති අතර සේනක කුමාරසිංහ ඒ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා ඇති බව පෙත්සම් කරුවෝ සඳහන් කරති. පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට පෙත්සම්කරුවන් අසමත් වූ බවට ඔවුන් එහිදී ප්‍රබල ලෙස චෝදනා එල්ල කළ බවද පෙත්සමෙහි සඳහන් වේ. එම පැමිණිල්ල හුදෙක්ම දේශපාලන අරමුණු මත සිදු කරන ලද පැමිණිල්ලක් බවට පෙත්සම්කරුවෝ චෝදනා කර සිටිති. මෙම පැමිණිල්ලට අදාළව යටතේ තමන් කොයි මොහොතේ හෝ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීමේ අවදානමක් ඇති බව පෙත්සම්කරුවෝ සඳහන් කරති.

එවැන්නක් සිදු වුවහොත් එමඟින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමේ ආසන්න අවදානමක් ඇති බවට පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.

එබැවින් එම පැමිණිල්ලට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවෝ සිය පෙත්සමෙන් ඉල්ලා සිටිති. එලෙස අත්අඩංගුවට ගැනීමක් සිදු වුවහොත් එමඟින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දු කරන ලෙස පෙත්සම මඟින් ඉල්ලා ඇත. එලෙස අත්අඩංගුවට ගැනීමක් කර රඳවා ගැනීමක් කළ හොත් වහාම තමන් මුදා හරින ලෙස පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිටිති. එසේම රුපියල් මිලියන සියයක වන්දි මුදල් අයකර දෙන ලෙස ද පෙත්සම මඟින් ඉල්ලා ඇත.