වසර 9කට පසු ශ්‍රී ලංකා පාපන්දු පිල විදෙස් රටකදී සිංහ ධජය ඉහළටම ඔසවයි

කම්බෝජියා පිල පරාජය කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඊයේ ජය සැමරූ අයුරු.

ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ ශ්‍රී ලංකා – කාම්බෝජියා අතර දෙවැනි තරගයෙන් කාම්බෝජියාව ගෝල් 4-2කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ. මේ හේතුවෙන් ආසියානු කුසලාන පාපන්දු සුදුසුකම් ලැබීමේ මීළඟ වටයට ශ්‍රී ලංකා පිල උසස්වීමක් ලබා ගත්තේය.

මෙය ශ්‍රී ලංකා පාපන්දු පිලක් වසර 9කට පසු විදෙස් තරග බිමකදී ලබාගත් පළමු ජයග්‍රහණයවීම විශේෂත්වයකි. වසර 2015දී ඉන්දියාවේ තිවේන්ද්‍රම්හිදී පැවති දකුණු ආසියා පාපන්දු තරගාවලියේදී ගෝල් 1-0කින් නේපාලය පරාජය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පාපන්දු පිල විදෙස් රටකදී ලැබූ ජයග්‍රහණය මෙය ලෙස වාර්තා විය.

වත්මන් ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම අනුව 180 වැනි ස්ථානයේ පසු වන කාම්බෝජියාව වැනි ප්‍රබල කණ්ඩායමක් 205 වැනි ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකා කණ්ඩායම වෙතින් කම්බෝජියාවේදී පරාජයවීම මෙහි ඇති විශේෂත්වය වේ.

දින 14කට පෙර ශ්‍රී ලංකා පාපන්දු පිලේ නව පුහුණුකරු කටාර් ජාතික අබ්දුල්ලා අල් මුතේරි මහතා කණ්ඩායම භාර ගැනීමෙන් අනතුරුව මේ ජයග්‍රහණය වාර්තා වීම තවත් සැලකිය යුතු දක්ෂතාවකි.

කම්බෝජියාවේ පෙනේම් පෙන් ඔලිම්පික් ක්‍රීඩාංගණයේදී ඊයේ පැවති මේ තරගයේ අතිරේක කාලයේ අවසන් මිනිත්තුව තෙක් ගෝල් 2-1කින් කාම්බෝජියාව ඉදිරියෙන් සිටි අතර, ක්ලෝඩියෝ මැතායෙස් ඒල්ල කළ පහරින් කිසිවකුත් අපේක්ෂා නොකළ පරිදි තරගය සම තත්ත්වයකට පත්විය.

දඬුවම් පහර ඒල්ල කිරීමේදී කාම්‌බෝජියාවේ ඒන්. ටේලර් එල්ල කළ පළමු පහර වළක්වාලීමට ගෝල් කීපර් සුජාන් පෙරේරා සමත් වූ අතර, දෙවැනි පහර ඉවතට ඇදී ගියේය. ශ්‍රී ලංකා පිලේ දඬුවම් පහර හතරම සාර්ථකවීමෙන් ජය තහවුරු විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිවර් කෙලාට් 38 වැනි මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කළ අතර, 51 වැනි මිනිත්තුවේදී කාම්බෝජියාවේ ඒස්. නිහේන් තම පිලට ගෝලයක් එක් කිරීමෙන් සම තත්ත්වයකට පත්විය. පසුව අතිරේක කාලයක් පිරිනැමුණු අතර එහිදී 98 වැනි මිනිත්තුවේදී ඒස්. සුහානා කම්බෝජියා පිලේ ජය තහවුරු කළේය.