රාජ්‍ය අමාත්‍යවරුන් 5 දෙනෙකු ධුරවලින් ඉවතට

වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් රාජ්‍ය අමාත්‍යවරුන් පස් දෙනෙකු ඉවත්කර තිබෙනවා.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරන බවට මීට ප්‍රකාශ කර තිබුණද ඊයේ (10) සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කිරීම සඳහා එක්වූ ගීතා කුමාරසිංහ මහත්මිය ද ඉවත් කරනු ලැබූ රාජ්‍ය අමාත්‍යවරුන් අතර වන බව සඳහන්.

මීට අමතරව ශෂීන්ද්‍ර රාජපක්ෂ, අමිත් තේනුක විදානගමගේ, ප්‍රසන්න රණවීර සහ ඩී.වී. චානක යන රාජ්‍ය අමාත්‍යවරුන්ද සිය ධුරවලින් ඉවත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයා වෙත ලබා දී ඇති බලතල ප්‍රකාරව අදාළ තීරණය ගෙන තිබෙනවා.

පසුගියදා ජනාධිපතිවරයා විසින් ප්‍රේමලාල් ජයසේකර, ඉන්දික අනුරුද්ධ, මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා සහ සිරිපාල ගම්ලත් යන රාජ්‍ය අමාත්‍යවරුන්ද සිය ධුරවලින් ඉවත් කරනු ලැබුවා.