සජිත්ගේ විකාර කතා ඇහුවම ඔහු ප්‍රා. සභාවටවත් සුදුසුදැයි හිතා බලන්න

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියන කරන විකාර දෙස බැලූ විට ඔහු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්වත් වීමට සුදුසුදැයි ඔබම කල්පනා කර බලන්නැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැති තරුණ සමුළුව අමතමින් පෙරේදා (08) පැවැසීය.

ඔහු ජනාධිපති අපේක්ෂකයකු බවට පත් වන්නේම තාත්තා ජනාධිපතිවරයකුව සිටි නිසා පමණයි. නාමල් රාජපක්ෂත් එහෙමයි. ජාතික දේශපාලනය පවුල් හතරක් පහක් අතේ ගොනුවෙලා. සියලු ආසනවල ප්‍රාදේශීය බල ප්‍රදේශවල තත්ත්වයත් එසේමයි. ඇතැම් පවුල්වල තාත්තා පාර්ලිමේන්තුවේ. ලොකු පුතා පළාත් සභාවේ. පොඩි පුතා ප්‍රාදේශීය සභාවේ. දේශපාලනය පවුල් පඩි පෙළක තියලා. තාත්තා එක පඩියකින් ඉවත් වන විට පුතා නඟිනවා. මේ පරම්පරා බල හුවමාරුව රටට විනාශයක්. ඒ නිසා බැටන් එක තාවකාලිකව අපි අතට අරගෙන තරුණ පරම්පාරාවට ලබාදීම අපේ යුතුකමක් යැයි ද හෙතෙම කීවේය.

මේ සැප්තැම්බර් 21 ජාතික ජන බලවේගයට ජයග්‍රහණය කළ හැකි බව අපි හැමදෙනාටම මහත් විශ්වාසයක් තිබෙනවා. ප්‍රතිවිරුද්ධ පාර්ශ්ව කිසිසේත් අපේක්ෂා නොකළ ඉරණමකට අද මුහුණ දී තිබෙනවා. ඔවුන් හිතුවේ එකිනෙකා අතර පමණක් බලය හුවමාරු වීම චිරාත් කාලයක් ආරක්ෂා කර ගන්න පුළුවන් වෙයි කියලා. නමුත් 21දා සහතික වශයෙන්ම සම්ප්‍රදායික බල හුවමාරුවේ සැබෑ වෙනසක් වෙනවා යැයි ද හෙතෙම මෙහිදී පැවසුවේය.