පරමාදර්ශී ජාතික දේශපාලනයේ දෑත පිරිසුදු හදවතක සුවඳ-දේශමාන්‍ය අල්හාජ් එම්.ඒ. බාකීර් මාකාර්

අද අප ජීවත් වන්නේ දේශපාලනඥයකු, ජාතික නායකයකු පිළිබඳ වුව කතා කරන විට ඉතා පරිස්සමින් කතා කළ යුතු වාර්තමානයක. එහෙත් දේශමාන්‍ය අල්හාජ් එම්.ඒ. බාකීර් මාකාර් මහතා ගැන කතා කිරීමේදී කවර ලෙසකින්වත් මා තුළ යම් චකිතයක් පැන නොනඟින්නේ විශේෂ හේතු ගණනාවක් නිසා.

මේ වෙලාවේ මට මතකයට එනවා දේශපාලනඥයකු වශයෙන් මේ රටේ ජනතාව ඉදිරියේ මම මගේ මුල්ම ප්‍රතිඥාව දුන් මොහොත. මිත්‍රවරුනි, ඒ දවස 1993 වර්ෂයේ මාර්තු මාසයේ දක්ෂිණ ලංකාවේ ගාලු පුරවරයට හොඳින් ඉර පෑයූ වර්ණවත් දවසක්. එවකට දකුණු පළාත් සභාවේ ආණ්ඩුකාර ධුරන්ධර දේශමාන්‍ය බාකීර් මාකාර් මැතිතුමාගේ නිකැළැල් නොකිලිටි දෝතින් පත්වීමේ ලිපිය භාරගෙන දකුණු පළාත් සභාවේ පළාත් සභා මන්ත්‍රීවරයකු විදියට මම මගේ මුල්ම ප්‍රතිඥාව තබනවා. එවන් පරමාර්දශී පාරිශුද්ධ සුවඳ හමන හදවතක් සහිත මිනිසෙකු ඉදිරියේ ප්‍රතිඥා දෙමින් පාරිශුද්ධ ගමනක් යන්නට මගේ දේශපාලන මෙහෙවර ආරම්භ කරපු මම අද මේ සටහන තබන්නේ ඒ දුලබ අවස්ථාව පිළිබඳ ඉමිහිරි සතුට අභිමානයක් ලෙස මගේ හදවතේ වටිනාම තැනක තැන්පත් කර තබාගෙන.

දේශමාන්‍ය අල්හාජ් එම්ඒ. බාකීර් මාකාර් මැතිතුමන් මේ රටේ මුස්ලිම් ජන නායකයෙකු විදිහට දේශපාලන දිවිය ආරම්භ කළත් ඔහු සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සහ අනෙකුත් ජාතීන් සහිත බහු ආගමික ජනතාවක් සිටින රටක තම තමන්ගේ සංස්කෘතික වටිනාකම් තබාගෙන ජීවත් වීමේ ව්‍යාකරණය හා කලාව ප්‍රගුණ කරපු නායකයෙක්. එතුමන් ඒ කලාව ප්‍රගුණ කළා පමණක් නොවේ; ඒ කලාව ඔස්සේ ජීවත් වෙමින් මේ රටට සේවය සැලසීමේ ව්‍යාකරණය හා මූලර්ධමය සිය කුටුම්බය තුළින්ම ප්‍රායෝගික භාවිතයට හුරු පුරුදු කරපු නායකයෙක්.

අප දන්නවා එතුමන් 1917 මැයි මාසේ 12 වැනිදා සිය උතුම් වූ ජන්මලාභය ලැබුවේ බේරුවල මරදාන ප්‍රදේශයේ “හකීම් විලා” මහ වෙද ගෙදර සුප්‍රකට වෙද පරපුරකින් පැවත එන පවුලක. එතුමාගේ පියාණන් ආයුර්වේද වෛද්‍ය හලීම් අලිය මරික්කාර් මොහොමඩ් මරික්කාර්. මවුතුමිය ඉස්මයිල් මරික්කාර් රහිලා උම්මා මැතිනිය.

මෙතුමන් කුඩා අවධියේ පාසල් ගියේ තම එකම හා වැඩිමල් සහෝදරිය වන දුරතුල් යතීමාගේ සුරතේ එල්ලී ලංකාවේ ප්‍රථම මුස්ලිම් බාලිකා විද්‍යාලයට. ඉන් අනතුරුව 1924 දී කොළඹ සාන්ත සෙබස්තියන් විද්‍යාලයට ඇතුළු වුණු පුංචි බාකීර් මාකාර් එම පාසලෙන් සිංහල, ඉංග්‍රීසි, දෙමළ, ලතින් භාෂා මැනවින් ඉගෙන ගන්නවා. අනතුරුව උසස් අධ්‍යාපනයට කොළඹ සහිරා විද්‍යාලයට එනවා. පන්ති කාමරයේ විෂය අධ්‍යාපන කටයුතුවලට සමගාමීව අපේ ‌කතානායකතුමන් පන්ති කාමරයෙන් පිට බාහිර කටයුතුවලටත් උදේ්‍යාගිමත්ව සහභාගි වෙනවා. සිංහල, දෙමළ, ඉංග්‍රීසි සාහිත්‍ය සමිති එකක්වත් වරද්දන්නෙ නෑ.

තවත් විශේෂම කාරණාවක් තිබෙනවා. අපි අද කතා කරන යොවුන් පාර්ලිමේන්තුව සමහරු හිතනවා අපේ පාර්ලිමේන්තුවට පිටින් තිබෙන මුල්ම ආදර්ශය කියලා. ඒත් 1920 දශකයේ අග වෙනකොට අපේ කතානායක බාකීර් මාකාර් මැතිතුමා කොළඹ සහිරා විද්‍යාලයේ “ශිෂ්‍ය පාර්ලිමේන්තුව” නමැති ආදර්ශයේ ශිෂ්‍ය මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරනවා. සඟරාවලින් පටන් ගත් ලේඛන කටයුතු පොත්පත් දක්වා වර්ධනය කිරීම ප්‍රගුණ කරනවා.

බහුභාෂා උගතකු ලෙස සහිරා විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබා සමාජගත වන ඔහු නීති විද්‍යාලයෙන් නීති ක්ෂේත්‍රයට ප්‍රවේශ වෙනවා. තමන් උපන් වෙද පරපුරේ ගෞරවනීය වෘත්තීයභාවය ආරක්ෂා කර ගනිමින් ආයුර්වේද වෛද්‍ය අධ්‍යාපනයේ ද නිරත වන මෙතුමන් එදා එසේ ලබා දුන්නේ වත්මන් තරුණ පරපුරටත් පරමාදර්ශයක්. ඉන් පසුව නීති විද්‍යාලයෙන් තරුණ නීතිඥයෙකු ලෙස සමාජගත වන අපේ අල්හාජ් බාකීර් මාකාර් මැතිඳු වැඩි කලක් යන්නට මත්තෙන් අධිනීතිඥයකු ලෙස කළුතර උසාවියේ වෘත්තීය කටයුතු සේම සමාජ සේවය ආරම්භ කරනවා.

අප ‌කතානායකතුමා, එතුමන් මේ සමාජ තලයේ ඉමහත් කීර්තියක් උසුලන දේශපාලන ක්ෂේත්‍රයට අවතීර්ණ වන්නේ බේරුවල නගර සභාවට තරග කරමින්. 1947 පවත්වන නාගරික ඡන්දයෙන් පරාජයට පත්වුවත් 1950 වසරේ දී තමන්ගේ දේශපාලන උරුමය ලබාගන්නට තරුණ බාකීර් මාකාර් මැතිතුමා සමත් වෙනවා.

නගර සභා දේශපාලනය ඔස්සේ ජාතික දේශපාලනයට ප්‍රවිෂ්ට වන අප කතානායකතුමා විශිෂ්ට ජයග්‍රහණයක් ලබා 1960 මාර්තු මහ මැතිවරණයෙන් බේරුවල ආසනයේ නියෝජිතයා ලෙස මුල් වරට පාර්ලිමේන්තුවට පත්වෙනවා. අනතුරුව 1965 වසරේදීත් 1977 වසරේදීත් බේරුවල අසුන මත වෙනත් මහජන නියෝජිතයකු අසුන් ගන්වන්නට බේරුවල වාසී සුදී ජනතාව කැමති වන්නේම නැහැ.

1977 ජේ. ආර්. ජයර්වධන ඓතිහාසික රාජ්‍යවකරණයේ පුරෝගාමී නායකයකු වන දේශමාන්‍ය එම්.ඒ. බාකීර් මාකාර් මැතිතුමන් නියෝජ්‍ය කථානායකවරයා ලෙසත් අනතුරුව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙසත් මේ රටේ දේශපාලනයට ගෞරව කරන ජනතාව අතරේ අභිමානනීය මෙහෙවරක් ආරම්භ කරනවා.

දේශපාලනඥයෙකු ලෙස ආරම්භ කළ අභිමානවත් ජාතික මෙහෙවර වඩ වඩාත් අර්ථවත් වන්නේ මුස්ලිම් නායකයකුව සිටියත් ඔහු මේ සමාජයේ විශද කළ සර්ව සාධාරණ සමාජ චින්තනය නිසයි. සිංහල භාෂාව මේ රටේ රාජ්‍ය භාෂාව විය යුතු යැයි එතුමන් ටයි කෝට් පැලඳි පරපුර අතරේ සිට ප්‍රබල හඬක් නඟනවා. “එන් සිංහලම්” සහ “ඇයි සිංහල අපිට” යන ප්‍රස්‌තුතය යටතේ එතුමන් විසින් රචිත පොත්පත් මුද්‍රණය කර රට පුරා බෙදාහරින්නේ අභියෝග නැති සමාජ පසුබිමක නම් නෙවෙයි. ඒ සඳහා එතුමන්ට අනේකවිධ විවේචන පැමිණි බව රහසක් නෙවෙයි. ඒ සියලු වාද භේද යටපත් කළ හැකි උතුම් දහම අන් කිසිවක් නොව, සර්ව සාධාරණ මනුෂ්‍යත්වය පමණක්ම බව රට පුරා අභීතව හඬනඟා කියනවා. එතුමන් ඔය අවස්ථාවේ කළ එක්තරා අභීත ප්‍රකාශයක් මගේ මතකයට නැඟෙනවා.

“මා මේ රටේ තුන්වැනි පුරවැසියාට හිමි පාර්ලිමේන්තුවේ කථානායක ධුරයට ජනතාව තෝරාපත් කරගනු ලබනවා. මේ තත්ත්වයට පැමිණීමට සුළු ජාතිකයෙකු වූ මට කිසිදු බාධාවක් ගැටලුවක් අභියෝගයක් ඇති වූයේ නෑ. මේ රටේ ජීවත් වන අන් සෑම සුළු ජාතිකයෙකුගෙන්ම මා ඉල්ලා සිටින්නේ මහජාතිය වන සිංහල ජාතිය සමඟ එකමුතුව, සමගිව, සුහදව, සහජීවනයෙන් කටයුතු කරන ලෙසයි. අපේ ප්‍රශ්න ඒ අය සමඟ සාකච්ඡාවෙන් කතාබහ කර එක්ව විසඳාගන්නට අසීරු වෙන්නේ නෑ”

දේශමාන්‍ය අල්හාජ් එම්.ඒ. බාකීර් මාකාර් මැතිතුමන් ජාතික සංහිඳියාව වෙනුවෙන් උතුම් වූ මනුෂ්‍යත්වය තුළින් උත්තර හොයන්නට ශ්‍රී ලාංකේය මහා සමාජය පොලඹවපු කෙනෙක්. ඔහු භාවිතයෙන්ම ඒ සංහිඳියාව අත්හදා බැලුවේ වරක් දෙවරක් නෙවෙයි. එතුමන් තම වැඩිමල් පුතණුවන් අල්හාජ් ඉම්තියාස් බාකීර් මාකාර් ලංකාවේ අග්‍රගණ්‍ය සිංහල බෞද්ධ පාසල වන කොළඹ ආනන්දයට එවන අතරම සිය දියණියන්ව යවන්නේ බම්බලපිටිය මිලාගිරිය සාන්ත පාවුළු බාලිකා විද්‍යාලයට. බාල පුතු කොළඹ රාජකීයට ඇතුළත් කළත් ඒ සියලු දෙනාට සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබාදීම ප්‍රමුඛ අවශ්‍යතාව ලෙස තබාගන්නවා. සියලු ජාතීන්ට එකසේ ගෞරව කිරීම මෙන්ම සියලු ආගම්වලට එක සේ ආදරය කිරීම මනුෂ්‍යත්වය උරගා බැලීමක් ලෙස අදහන බාකීර් මාකාර් මැතිතුමා හරි හම්බ කළේත් මනුෂ්‍යයන්ම පමණයි.

දේශපාලනය හා සමාජ සේවය නාගරික මන්ත්‍රීවරයකු ලෙස පටන්ගෙන නගරාධිපතිවරයකු ලෙස ප්‍රාදේශීය සේවය ආරම්භ කරනවා. පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය කථානායකවරයකු, ඇමැතිවරයෙකු හා කථානායකවරයකු වශයෙන් කටයුතු කරනවා. එක වරක් නොවෙයි දෙවරක්ම කථානායක. එම කීර්‌තිමත් මෙහෙවර අවසානයේ දේශපාලනයෙන් විශ්‍රාම ගොස් නැවත සමාජ සේවය සඳහා දක්ෂිණ ලංකාවේ පළාත් සභාවේ ආණ්ඩුකාරයා ලෙස දකුණේ අප සම්මුඛයට එනවා. වසර පනස් ගණනක් තිස්සේ දේශපාලන මෙහෙවරෙන් හා සමාජ සේවයෙන් පරිපූණ වූත් අර්ථසම්පන්න වූත් මෙහෙවරක් ඉටුකරන මේ උත්තුංග මානව වංශිකයා අවසානයේ ඉතුරු කරගන්නේ කුමක්ද…

උතුම් වූ මනුෂ්‍යත්වයෙන් පිරි අවංක, සුවඳ හමන හදවතක් හා නිකැළැල් පිරිසිදු නොකිලිටි දෑතක් සහිත කීර්‌තිමත් නාමය පමණක් නොවේද… ධන ධාන්‍ය මිල මුදල් යාන වාහන ගේ දොර ඉඩකඩම්වලින් ආඪ්‍ය නොවූ ඒ කීර්තිමත් නාමය මේ ශ්‍රී ලාංකේය ජන සමාජයට මොනතරම් පරමාර්දශයක් සපයයිද…

ඒ පරමාර්දශයන් ප්‍රතිමූර්‌තියන් ඔබ අප ඉදිරියේ ඉතිරි කර තබා 1997 සැප්තැම්බර් 10 වැනිදා ඔබ අප අතරින් නික්ම ගියේය.

ඩලස් අලහප්පෙරුම

මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී