තැපැල් ඡන්ද ලැබී ඇති ප්‍රමාණය ප්‍රකාශ කිරීම තහනම් -කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ

භාවිත කරන ලද තැපැල් ඡන්ද කිනම් අයකුට කොපමණක් ලැබී ඇත්දැයි කිසිවකුට ප්‍රකාශ කළ නොහැකි බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ මහතා පවසනවා.

කොළඹ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද භාවිත කිරීම සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (06) පැවති මාධ්‍යහමුවේදී ඒ මහතා මේ බව සඳහන් කර සිටියා.

ඇතැම් දේශපාලන පක්ෂ හා කණ්ඩායම් සහ ඔවුන් විසින් මෙහෙයවන සමාජ මාධ්‍ය කණ්ඩායම් තමන්ට තැපැල් ඡන්දයේදී වැඩි වාසියක් ඇතැයි කරන ප්‍රකාශ මැතිවරණ වරදක් බවත්, ඒ සම්බන්ධයෙන් දඬුවම් ලැබිය හැකි බවත්, මැතිවරණ කොමිසම ඒ සම්බන්ධයෙන් ක්‍රියාකරන බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළ බව සඳහන්.

තවදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ කොළඹ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද භාවිතය 90% කට වඩා වැඩි බවත්, කිසිඳු මැතිවරණ කඩකිරීමක් වාර්තා නොවූ බවයි.