වසර ගණනාවකට පෙර ක්‍රීඩා අමාත්‍යාංශය යට ගැසූ රග්බි ආයතනයේ වංචා දූෂණ යළි ඉස්මතු වෙයි

ශ්‍රී ලංකා රග්බි ආයතනයේ පසුගිය කාලයේදී සිදුවූ විවිධ වංචනික ක්‍රියා සහ මූල්‍ය අර්බුද සම්බන්ධ තොරතුරු යළි ඉස්මතු වී ඇතැයි ‘දිනමිණ’ට වාර්තා වේ. විවිධ පුද්ගලයන්ගේ මැදිහත්වීම් මත යට ගසනු ලැබූ එම වංචනික ක්‍රියා එවකට සිටි ඇතැම් ක්‍රීඩා අමාත්‍යවරුන් හා ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් නොසලකා හැරීම සම්බන්ධයෙන් ද තොරතුරු හෙළිවෙමින් පවතින බව වැඩිදුරටත් වාර්තා වේ. පසුගිය ජූනි මාසයේදී ඉදිරිපත් වූ එවැනි පැමිණිල්ලක් සම්බන්ධව ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්වරයා වන චූලානන්ද පෙරේරා මහතා විසින් ක්‍රීඩා අමාත්‍යාංශයට නිර්දේශ යොමු කර මාස දෙකක් ගත වුවද ඒ පිළිබඳ ක්‍රීඩා අමාත්‍යාංශය කිසිදු පියවරක් ගෙන නොමැති බව ද වැඩිදුරටත් වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් විදෙස් රග්බි ක්‍රීඩකයන් තිදෙනකුට වංචනික ලෙස ශ්‍රී ලංකාවේ ගුවන්ගමන් බලපත්‍ර ලබාදී වසර 2014 ජාත්‍යන්තර රග්බි තරග සඳහා යොදා ගැනීම සම්බන්ධව ලෝක රග්බි සම්මේලනය හමුවේ වරද පිළිගෙන ස්ටර්ලිං පවුම් පනස්දහසක දඩයකට යටත් වූ එවකට ශ්‍රී ලංකා රග්බි ආයතනයේ හිටපු සභාපතිවරයා ඇතුළු නිලධාරීන්ට සහ වසර 2018-2020 කාලය ඇතුළත රග්බි ආයතනයේ සිදූවු බව කියන මූල්‍ය අර්බුදයට වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව මෙතෙක් ක්‍රීඩා අමාත්‍යාංශය කිසිදු පියවරක් නොගැනීම සම්බන්ධව ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්වරයාට එම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ වසර 2020 සිට 2023 දක්වා කාලයේදී රග්බි සභාපතිවරයා ලෙස කටයුතු කළ රිස්ලි ඉල්යාස් මහතා බව ද වැඩිදුරටත් වාර්තා වේ.

එම පැමිණිල්ල සඳහා ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්වරයා ක්‍රීඩා අමාත්‍යාංශයට නිර්දේශ ලබා දී ඇත්තේ වසර 2024 මැයි මාසයේ 3 වැනිදා නිකුත් කරනු ලැබූ අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව එවැනි පැමිණිලි දින 14කට පෙර ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්වරයාට ඉදිරිපත් කළ යුතුව තිබූ බැවින් මේ සම්බන්ධව පරීක්ෂණයක් පැවැත්වීමට ඔම්බුඩ්ස්මන්වරයාට නීතිමය අධිකාරියක් නොමැතිවීම හේතුවෙන් බව ද වාර්තා වේ.

විදෙස් ක්‍රීඩකයන් ශ්‍රී ලංකාවේ පුරවැසියන් බවට ඒත්තු ගැන්වීමට ඔවුන්ට ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් බලපත්‍ර ලබා දී තිබේ නම් එය මෙරට රග්බි ක්‍රීඩාවට විශාල කැළලක් බව ඔම්බුඩ්ස්මන්වරයා ක්‍රීඩා ඇමැතිවරයාට යොමු කළ ලිපියෙහි සඳහන් වේ. ශ්‍රී ලංකාවේ ගමන් බලපත්‍රයක් දැරිය හැකිවන්නේ ශ්‍රී ලාංකික පුරවැසියන්ට පමණක් බවත්, විදේශිකයකුට මෙරට පුරවැසිභාවය ලබාගැනීමට අවශ්‍ය නම් එය ශ්‍රී ලංකා පුරවැසි පනතේ විධිවිධානවලට අනුකූලව ලබාගත යුතු බවත් ඔම්බුඩ්ස්මන්වරයාගේ ලිපියෙහි වැඩිදුරටත් සඳහන් වී තිබේ. එසේ නොමැතිව ශ්‍රී ලාංකික ගුවන් ගමන්බලපත්‍රයක් දරමින් ක්‍රීඩාවේ නිරතවීමට අවකාශ සලසා තිබේ නම් නීතිමය වශයෙන් එය බරපතළ වරදක් බවත්, විනය විරෝධී ක්‍රියාවක් බවත් එම ලිපියෙන් පෙන්වා දී තිබේ.

එබැවින් මේ සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමෙන් හෝ සුදුසු වෙනත් නිලධාරියකු විධිමත්ව පත් කර ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ ආයතනවලින් වාර්තා ගෙන්වා ඉදිරි පියවර ගැනීම සුදුසු බවට ඔම්බුඩ්ස්මන්වරයා විසින් ක්‍රීඩා අමාත්‍යවරයාට යොමු කරනු ලැබූ ලිපියෙහි සඳහන් වේ.