ආනන්ද සාගර හිමියන්ට එරෙහිව මනූෂගෙන් නීතිමය පියවර

විදේශ රැකියා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ නිකුත් කරමින් අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කිරීමට එරෙහිව පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන්ට එරෙහිව හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා නීතිමය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව පළමු පියවර ලෙස අසත්‍ය, පදනම් විරහිත ප්‍රකාශ නිකුත් කළ ආනන්ද සාගර හිමියන්ට එරෙහිව රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යොමු කර ඇති බව සඳහන්.

අද (04) මනූෂ නානායක්කාර මහතා සිය නීතීඥයින් මගින් මෙම එන්තරවාසිය යවා ඇති බවයි වාර්තා වන්නේ.

හිටපු අමාත්‍යවරයාගේ ඥාතියෙකුට අයත් විදේශ රැකියා ඒජන්සියකින් විදේශ රැකියා සදහා පුද්ගලයින් යොමු කර ඇති බවටත්, ඒ මගින් කෝටි ගණනින් මුදල් උපයා ඇති බවට ආනන්ද සාගර හිමියන් කර ඇති ප්‍රකාශවල කිසිදු පදනමක් නොමැති බවද මනූෂ නානායක්කාර මහතා සිය නීතිඥයින් මගින් යොමු කරන ලද එන්නතරවාසියේ සඳහන් කර තිබෙනවා.

මනූෂ නානායක්කාර මහතාගේ නම අවස්ථා කිහිපයකදීම සදහන් කරමින් චේතනාන්විතව අපහාස කිරීමේ අරමුණින් ආනන්ද සාගර හිමියන් විසින් ප්‍රකාශ නිකුත් කර තිබෙන බවද එම එන්තරවාසියේ සදහන්.

මෙසේ අසත්‍ය ප්‍රකාශ නිකුත් කරමින් අපහාස කිරීමට කටයුතු කිරීමට එරෙහිව රුපියල් මිලියන පන්සියකක වන්දිය දින 14ක් ඇතුළත ගෙවා අවසන් කරන ලෙසත්, එසේ නොවන්නේ නම් අධිකරණයේ නඩු පවරා වන්දි මුදල, ඊට අදාල ආලාභ සහ නඩු ගාස්තු අය කරගැනීමට කටයතු කරන බවයි මනූෂ නානායක්කාර මහතා සිය නීතීඥයින් මගින් යොමු කළ එන්තරවාසියේ වැඩිදුරටත් දක්වා ඇත්තේ.