දිවයිනේ ප්‍රධානතම ත්‍රිරෝද රථ සංගම් හතරක සහාය රනිල්ට

එළැඹෙන ජනාධිපතිවරණයේදී දිවයිනේ ප්‍රධානතම ත්‍රිරෝද රථ සංගම් හතරක සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හට පළ කරන බව වාර්තා වනවා.

සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය, ජාතික Taxi app ත්‍රිරෝද රථ වෘත්තිකන්ගේ එකමුතුව, එක්සත් මගී ප්‍රවාහන සේවා වෘත්තිකයන්ගේ සංගමය, බස්නාහිර පළාත් ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා හිමිකරුවන්ගේ සමූපකාර සමිතිය යන ප්‍රවාහන සංගම් මෙලෙස ජනාධිපතිවරයාට සහාය පළ කිරීමට එක්ව සිටින බව සඳහන්.

එම සංගම් නියෝජනය කරන නියෝජිතයන් දහසක් පමණ අද (04) කොළඹ ගෝල්ෆේස් අරගල භූමියට රැස්ව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට අවශ්‍ය බවට කරන ලද ඉල්ලීම අනුව ඔවුන් අතරට පැමිණි ජනාධිපතිවරයා එම පිරිස සමඟ සුහද පිළිසඳරක නිරත වූ බවයි වාර්තා වන්නේ.

වසර 25ක් පුරා විධායක ජනාධිපතිවරුන් සිව් දෙනෙකු යටතේ විසඳුම් නොලැබුණු ත්‍රිරෝද රථ කර්මාන්තයේ නියාමනය පිළිබඳ ගැටළුවට පැය 24ක් තුළ විසඳුම් ලබාදීමට කටයුතු කිරීම පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා වෙත ඔවුන් ස්තුතිය පළ කළ බව සඳහන්.

එහිදී ඔවුන් ප්‍රකාශ කළේ පසුගිය සමයේ රැකියාව කරගත නොහැකිව දින ගණනක් ඉන්ධන පෝලිම්වල රස්තියාදු වූ තමන් එම තත්ත්වයෙන් මුදාගත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවත් නැවත එවන් තත්ත්වයකට මුහුණදීමට තමන්ට අවශ්‍ය නොවන බවයි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ ත්‍රිරෝද රථ රියදුරන් වෙනුවෙන් දායකත්ව විශ්‍රාම වැටුපක් සහ සමාජ ආරක්ෂණයක් 2025 වසරේ සිට හඳුන්වාදීමට රජය පියවර ගෙන ඇති බවයි.

පැවති ආර්ථික අර්බුදය හමුවේ ණය බරින් පීඩා විඳින ත්‍රිරෝද රථ රියදුරන්ගේ එම ණය ආපසු ගෙවීම් ප්‍රතිව්‍යුහගත කිරීම උදෙසා රාජ්‍ය බැංකු හා පෞද්ගලික
බැංකු මඟින් අවස්ථාව සලසා දෙන බවද ජනාධිපතිවරයා ඔවුන් හමුවේ සඳහන් කර සිටියා.