රජයේ විශ්වවිද්‍යාල අපේ දරුවන්ට එපා කළේ ජවිපෙයි

නවක වදය කියා විශ්වවිද්‍යාලවලට ලිංගික හිංසනය ගෙනැවිත් දරුවන් රජයේ විශ්වවිද්‍යාලවලට පැමිණීමට බියක් ඇති කළේ ජනතා විමුක්ති පෙරමුණ යැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

මේ රටේ පෞද්ගලික විශ්වවිද්‍යාල සිඝ්‍රයෙන් බිහි වීමට වගකිවයුත්තේද ජනතා විමුක්ති පෙරමුණ බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ බොහෝ දෙනකුගේ දරුවන් උසස් අධ්‍යාපනය සඳහා පෞද්ගලික විශ්වවිද්‍යාලවලට යොමු වී ඇති බවත් හෙතෙම මහනුවරදී පැවති ජනහමුවක දී පෙරේදා (01) පැවසුවේය.

“ඔවුන් රටේ අහිංසක ජනතාවගේ දරුවන්ට ඉතිරි කර ඇත්තේ කඳුළු ගෑස් පමණයි. මාලිමාවට අනුව නම් ඔක්කොම දූෂිතය. දඹුල්ලේ, අනුරාධපුරයේ, පොලොන්නරුවේ, පදවියේ, අම්පාරේ මහා ඝන කැලෑ වැහිලා තිබුණේ. ඒ ඝන කැලෑ මැද්දේ ගල් ඔය ව්‍යාපාරය හදලා, මින්නේරිය ව්‍යාපාරය හදලා, පදවිය ව්‍යාපාරය හදලා, වැදගත් ජනාවාසකරණයක් කරලා දුන්නේ කවුද? මාලිමාවට අනුව නම් ඔවුන් පට්ටපල් හොරු.‍ නවක වධය කියලා ලිංගික වධ හිංසාවලින් පටන් අරන් තිරස්චීන වධ ක්‍රියාවලියක් විශ්වවිද්‍යාලවලට ගෙනාවේ කවුද? අනුර දිසානායක මහත්තයාලගේ දේශපාලනය, ලාල් කාන්ත මහත්තයලගේ දේශපාලනය තමයි ඒක කළේ. අද අවුරුදු තුනේ උපාධියට ගියහම අවුරුදු පහක් හයක් යනවා. රජයේ විශ්වවිද්‍යාලයට දරුවා යවන්න බැරි වුණා. එතකොට මේ පෞද්ගලික විශ්වවිද්‍යාල රැල්ල රටේ හැදුවේ කවුද? ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය, අනුර දිසානායක මහත්තයලා. විශ්වවිද්‍යාල අරින්නෙ කවද්ද? වහන්නේ කවද්ද? ඉස්කෝල අරින්නේ කවද්ද? වහන්නේ කවද්ද? කියලා තීරණය කළේ ඒගොල්ලෝ. දරුවන්ට ලැබිච්ච එකම දේ කඳුළු ගෑස් පමණයි. මොකද ඒවයේ වධ වේදනාවට ලක්වෙච්ච පරපුරක් අපි.

දැන් මොකද කිව්වේ? හැම පෞද්ගලික විශ්වවිද්‍යාල ජාලයටම විරුද්ධ වුණා. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ, තමන්ගේ දරුවෝ ගිය විශ්වවිද්‍යාල ටික පෙන්නන්න කියලා මම කියනවා. මේගොල්ලන්ගේ සමහර අයගේ දරුවෝ කෙලින්ම පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ඇරියේ. පුළුවන්නම් කියන්න මගේ දරුවෝ මෙතැන, මගේ දරුවෝ දෙන්නම රජයේ ඉස්කෝලේ ගියේ. මගේ දරුවෝ දෙන්නම රජයේ විශ්වවිද්‍යාලයට ගියේ A/L පාස් වෙලා. මම කියනවා ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්ට පුළුවන් නම් ඉදිරිපත් වෙලා කියන්න කියලා” යැයි ද හෙතෙම කීවේය.