ජනපති සටනට මා එන්නේ මධ්‍යම රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකත්වයෙන් අයින් වෙලා-අපේ ජන බල පක්ෂයේ ජනපති අපේක්ෂක කර්මාන්ත ඉංජිනේරු කීර්ති වික්‍රමරත්න

ජනපතිවරණය සඳහා නාම යෝජනා භාර දීමට පෙර මධ්‍යම පළාත් මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකත්වයෙන් ඉවත් වන බව ආණ්ඩුකාරවරයාට ලිඛිතව දැනුම් දුන්නේයැයි අපේ ජන බල පක්ෂයේ ජනපති අපේක්ෂක බලශක්ති හා මහතා පැවසීය. වික්‍රමරත්න මහතා මේ බව කීවේ මහනුවරදී පෙරේදා (1) මාධ්‍ය හමුවක් පවත්වමිනි.

කිසිදු දැනුම් දීමක් නොකර මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස සිටිමින් තමා ජනපතිවරණය සඳහා අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටි බවට ආණ්ඩුකාරවරයා විසින් කරන ලද චෝදනාව ප්‍රතික්ෂේප කරන බවද ඒ මහතා කීය. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස තමා තවදුරටත් කටයුතු නොකරන බව එහි ලේකම්වරියට වාචිකව දැනුම් දීමෙන් අනතුරුව ආණ්ඩුකාරවරයා වෙත ඒ සම්බන්ධයෙන් සාමාන්‍ය තැපෑලෙන් ලිපියක් යොමු කළ බවද ඒ මහතා පැවසීය. තමා ජනපති සටනින් ඉවත් කිරීමට යම් යම් පුද්ගලයන්ට අවශ්‍ය වී තිබෙන බවත්, පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ඉවත් කිරීම වැරදි ලෙස අර්ථකථනය කරමින් තමා ජනපති අපේක්ෂක ධුරයෙන් ඉවත් කළ බව ප්‍රචාරය කිරීම ඊට උදාහරණයක් බවත් හෙතෙම අවධාරණය කළේය. තමාට පක්ෂ තුනක් ඍජුවද තවත් පක්ෂ තුනක් වක්‍රවද සහය දෙන බව පැවසූ ඒ මහතා ජාතික සංවිධාන 21ක සන්ධානයක් ලෙස ජනපතිවරණයට ඉදිරිපත් වීම තුළ තමාට යම් වෙනසක් කිරීමේ අවස්ථාව ලැබෙතැයි විශ්වාස කරන බව ද කීවේය.