රට යළි ගොඩනැඟෙනවිට ගත් අසීරු තීරණ ජනතාව ඉවසා නොගත්තේ නම් රට අද බංග්ලාදේශයක්
ජනතාවගේ අයිතිය සුරක්ෂිත වන ආකාරයට රාජ්‍ය වත්කම් ඇතුළත් කර නව ආයෝජන සමාගමක් ඉදිරියේ දී ඇති කරන බවත් ඒ සඳහා නව නීති ගෙන ඒමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
එමඟින් වත්කම් උපයන නව ආයෝජන සඳහා යොමුවීමට මෙන්ම විධිමත් විශ්‍රාම සැලසුම් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට හැකි වන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළකළේ, සණස ව්‍යාපාරය මඟින් ආරම්භ කරන වැඩිහිටි විශ්‍රාම රක්ෂණ ක්‍රමය හඳුන්වා දීම වෙනුවෙන් කොළඹ දී ඊයේ (02) පෙරවරුවේ පැවති උත්සවයට එක්වෙමිනි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් වැඩිහිටි රක්ෂණ හයක් සංකේතාත්මකව ලබාදීම ද මෙහි දී සිදුවිය.
ආර්ථිකය කඩා වැටී රට අස්ථාවරව තිබූ මොහොතක තමන් රට භාරගෙන අසීරු තීන්දු තීරණ ගෙන යළි ගොඩනැගූ බව සඳහන් කළ ජනාධිපතිවරයා එදා ජනතාව ඉවසීමෙන් කටයුතු නොකළා නම් අද බංග්ලාදේශයට අත්ව ඇති ඉරණම ශ්‍රී ලංකාවට ද අත්වන බව පෙන්වා දුන්නේය.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.
“1977 වසරේ පත් වූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව මේ රටේ ආර්ථිකය විවෘත කළා. ඒ අනුව අලුත් ආයතන, අලුත් ව්‍යාපාර ඇති කිරීමට එක් එක් කණ්ඩායම් ඉදිරිපත් වුණා. පී.ඒ. කිරිවන්දෙණිය මහතා සණස ව්‍යාපාරය ආරම්භ කිරීමට එදා කටයුතු කළා. ඒ අනුව මේ වැඩපිළිවෙළ ව්‍යවස්ථානුගත කිරීමට එදා පියවර ගනු ලැබුවා. නිෂ්පාදනය සහ බෙදා හැරීම මේ රටේ සියලු ජනතාව අතරේ බෙදී යා යුතු බවට වන යෝජනාව 1962 වසරේ ඩඩ්ලි සේනානායක සහ ජේ.ආර්. ජයවර්ධන යන මහත්වරුන් ගෙන එනු ලැබුවා. එය අයිතිය බෙදා හැරීමේ යෝජනාව ලෙස ද ව්‍යවස්ථාවට ඇතුළත් කළා. ඒ අනුව මෙවැනි සණස ව්‍යාපාර වැනි සංවිධාන දිරිගැන්වීම සිදු කෙරුණා. එමඟින් ශ්‍රී ලාංකේය ආර්ථිකයටත් විශාල දායකත්වයක් ලැබී තිබෙනවා. 21 වැනි ශත වර්ෂයේ දී 20 වැනි ශත වර්ෂයට වඩා වෙනසක් ඇතිවුණා. කුඩා ව්‍යාපාර බිහි වී ආර්ථිකය පුළුල් වුණා. ත්‍රීරෝද රථ කර්මාන්තය හා සංචාරක ක්ෂේත්රය ආශ්රිත කුඩා ව්‍යාපාරය වේගයෙන් ඉදිරියට පැමිණියා. නමුත් 2022 වසරේ දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටුණා.
මා රට භාර ගත්තේ එලෙස ආර්ථිකය කඩාවැටී රට අස්ථාවර වූ අවස්ථාවකයි. එදා ජනතාවට ඉවසීමක් තිබුණේ නැතිනම් අද මේ රටේ විශාල අරාජිකත්වයක් නිර්මාණය වෙනවා.
මිනිස්සු පාරේ ඉඳගෙන රට පාලනය කරන්න ගියා නම් අද බංගලාදේශයට අත්ව තිබෙන ඉරණම ලංකාවටත් අත්වෙනවා. රටේ ආර්ථිකය ගොඩනැඟීමේ දී අසීරු, ජනප්‍රිය නොවන තීන්දු ගැනීමට සිදුවනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර මේ රටේ ආර්ථිකය ගොඩනැඟීම සඳහා අවශ්‍ය පියවර ගත්තා. වාහනයක්, නිෙවසක්, නවීන විදුලි උපකරණයක් මිල දී ගැනීම ජනතාවට සිහිනයක් බවට පත්ව තිබුණා. අප එවැනි අසීරු අවස්ථාවක් පසුකර පැමිණ තිබෙනවා. ආර්ථිකය දැන් යම් ස්ථාවර තත්ත්වයකට පැමිණ තිබෙන නිසා ජනතාවගේ මිල දී ගැනීමේ හැකියාව ද වැඩිවී තිබෙනවා. ඒ සමඟ කුඩා ව්‍යාපාර ආයෝජකයන් ලෙස ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කරනවා.
“අයිතිය” ජනතාවට ලබාදීමේ වැඩපිළිවෙළ ද ආරම්භ කර තිබෙනවා. ඒ අනුව මෙරට ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කිරීමට සින්නක්කර ඔප්පු ලබාදීමට තීරණය කළා. ඒ අනුව ලක්ෂ විස්සකට සින්නක්කර ඔප්පු ලබා දීම මෙමඟින් සිදු කරනවා. කොළඹ නාගරික මහල් නිවාස ජනතාවට සින්නක්කරව ලබාදීමේ වැඩපිළිවෙළක් ද අප ආරම්භ කළා. කඳුකරයේ ජනතාව වෙනුවෙන් වතුගම්මාන ඇති කරමින් පවුලකට පර්චස් හතක බිම් කොටසක් ලබාදීමට ද සැලසුම් කර තිබෙනවා. මේ ක්‍රමවේදය අනුව ජනතාවට “අයිතිය“ පවරාදීම කඩිනමින් සිදුකරමින් පවතිනවා.
ඒ වගේම අඩු ආදායම්ලාභීන්ට සහන පොලිය මත නිවාස ණය ලබාදීමට අවධානය යොමු කරමින් තිබෙනවා. මෙතෙක් සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදලේ මුදල් යෙදවූයේ බැඳුම්කර මිල දී ගැනීම සඳහායි. දැන් අප ගෙනයන වැඩපිළිවෙළ අනුව රාජ්‍ය වියදම් අඩු කර තිබෙනවා. රාජ්‍ය ආදායම් වැඩි කිරීමට සැලසුම් කර තිබෙනවා. ආදායම වැඩි වූ විට බැඳුම්කර මිල දී ගැනීමට අර්ථසාධක අරමුදලේ මුදල් අවශ්‍ය වන්නේ නැහැ. එම මුදල් ආයෝජනය සඳහා යෙදවීමට සාකච්ඡා කරමින් තිබෙනවා. මේ පිළිබඳ වෘත්තීය සමිති සහ හාම්පුතුන් සමඟ ද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා.
රජයේ වත්කම්වලින් ආයෝජන සමාගමක්, (National Wealth Fund) ඇති කිරීමට ද ඉදිරියේ දී බලාපොරොත්තු වෙනවා. නෝර්වේ, කටාර්, සිංගප්පූරු වැනි රටවල් ද රාජ්‍ය ආදායමෙන් එන ලාභය සුබසාධනය සඳහා යෙදවීමට මෙවැනි සමාගමක් නිර්මාණය කර තිබෙනවා. එමඟින් ජනතාවගේ “අයිතිය“ සුරක්ෂිත කළ හැකියි.
මේ සණස ව්‍යාපාරය මඟින් ද සිදු කරන්නේ එවැනි සමාජ ආයෝජන වැඩපිළිවෙළක් බව කිව යුතුයි. විවිධ සේවා සමූපකාර සමිති වෙතින් ද සිදු කරන්නේ මෙවැනි සමාජ ආයෝජන ක්‍රමවේදයක් බව කිව යුතුයි. මේ සඳහා නව නීති ගෙන ඒමට අවශ්‍ය අතර ඩෙන්මාර්කය හා ස්වීඩනය යන රටවල තිබෙන නීති දෙස අවධානය යොමු කර එම නීති සකස් කළ යුතුයි. එමඟින් ආයෝජන හෝ විශ්‍රාම සැලසුම් වෙත ද යොමු විය හැකියි.
නව ඩිජිටල් ආර්ථිකයට පැමිණෙන තරුණ ව්‍යවසායකයින්ට වෙනම සණස ව්‍යාපාරයක් ඇති කළ යුතුයි. කෘෂිකාර්මික අංශය හා ධීවර අංශය නවීකරණය කිරීම මඟින් ඵලදායී ලෙස ආර්ථිකය දියුණු කළ හැකියි. ඒ සියල්ලටම පෙර ගමන් සහකරු වන්නේ සණස ව්‍යාපාරය බව මා කියන්න කැමැතියි. සණස ව්‍යාපාරය කියන්නේ වැස්සට තිබෙන කුඩය වගෙයි. හිසට තිබෙන වහල වගෙයි. මෙම ව්‍යාපාරය සඳහා ඉදිරියටත් සහයෝගය දැක්වීමට බලාපොරොත්තු වෙනවා.
සණස ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය පී.ඒ. කිරිවන්දෙණිය මහතා
සණස ව්‍යාපාරය ආරම්භ කළේ 1977 වසරේදීයි. එදා තිබූ නව ආර්ථික රැල්ලට මුහුණදීම සඳහා ජනතාව හුරු කිරීමට එමඟින් අප කටයුතු කළා. කුඩා ගොවියා, කුඩා නිෂ්පාදකයා ඉදිරියට ගෙන එන ක්‍රමවේදය සණස ව්‍යාපාරය මඟින් ගොඩනැඟුවා. එදා සණස ව්‍යාපාරයේ සාමාජිකයන් 84000ක් පමණ සිටියා. අද වන විට ලංකාවේ ජනගහනයෙන් 17%ක් පමණ සණස සාමාජිකයන් බව කිය යුතුයි. මේ වනවිට බිලියන ගණනක ආදායමක් සහිත ව්‍යාපාරයක් බවට සණස පත්ව තිබෙනවා.
ඒ වගේම අප විසින් අවදානම් කළමනාකරණය පිළිබඳ කටයුතු කිරීමට ණය රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දුන්නා. එසේම රක්ෂණ සමාගමක් ද අප විසින් ආරම්භ කළා. මේ වන විට මෙරට වයස්ගත වන ප්‍රමාණය වැඩි වෙමින් තිබෙන අතර, ඔවුන් වෙනුවෙන් නව රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීමට ද අප අදහස් කළා. මේ වැඩපිළිවෙළ අනාගතයට ඉතා වැදගත් බව කිව යුතුයි. ඒ හා සම්බන්ධ වීමට නව තාක්ෂණය හඳුන්වා දෙනවා. මේ වැඩිහිටි රක්ෂණයේ වාරිකය ආරම්භ කරන්නේ රුපියල් 10ක් වැනි කුඩා මුදලකින් බව ද පැවසිය යුතුයි. මෙම රක්ෂණ ක්‍රමය ඉදිරියට ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට අප අපේක්ෂා කරනවා.”
රාජ්‍ය අමාත්‍යවරුන් වන රංජිත් සියඹලාපිටිය, ලසන්ත අලගියවන්න, සණස ජීවිත රක්ෂණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි අයිවන් නිකලස් යන මහත්වරු ඇතුළු සණස සංගමයේ නිලධාරිහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.