‘ඔබ වෙනුවෙන් දියුණු රටක්’ පොහොට්ටුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදකී

අපි හදන අලුත් පරම්පරාවේ ආණ්ඩුවෙන් වසර තුනකදී වංචාව, දූෂණය අවසන් කරනවා

-පොහොට්ටුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වමින් නාමල් කියයි


රටේ සංවර්ධන ක්‍රියාදාමය වඩා කාර්යක්ෂමව සහ විනිවිදභාවයෙන් ක්‍රියාත්මක කරමින් තම ආණ්ඩුවක් යටතේ වසර තුනක් ඇතුළත වංචාව සහ දූෂණය අවසන් කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

ඒ අනුව වංචාව සහ දූෂණය ඇතැමුන්ගේ සටන් පාඨයක් බවට පත්වුවද එය අවසන් කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් රට ගොඩනඟන්න හැකි සහ වුවමනාවක් තිබෙන දේශපාලන බලවේගය ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මේ රටේ ජනතාව වෙනුවෙන් දියුණු රටක් ගොඩනඟන්න කටයුතු කරන බව ද ඒ සඳහා ශක්තිය දෙන ලෙස සියලු දෙනාටම ආරාධනා කරන බව ද ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස එම පෙරමුණේ ප්‍රතිපත්තිමය ඉලක්කය සහ නව්‍යකරණ වැඩපිළිවෙළ ඇතුළත් “නාමල් දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

පිටු 45කින් සමන්විත ප්‍රතිපත්ති ප්‍රකාශනය “නාමල් දැක්ම” ලෙස නම් කර තිබෙන අතර 2025 – 2035 දක්වා පක්ෂයේ වැඩපිළිවෙළ Òඔබ වෙනුවෙන් දියුණු රටක්Ó තේමාව යටතේ ඉදිරිපත් කර තිබේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙය කොළඹ ITC රත්නදීප හෝටලයේදී ඊයේ (02) පෙරවරුවේ පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙසේ ද පැවසීය.

“අපේ පක්ෂයේ නිර්මාතෘවරයාට, නායකයාට වගේම පක්ෂයට මුලින්ම මගේ ස්තූතිය පිරිනමනවා මට මේ අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන්. එදා එස්. ඩබ්ලිව්. ආර්. ඩී.බණ්ඩාරනායක මහතාත් ඩී.ඒ. රාජපක්ෂ මහතාත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැඟුවේ පංච මහා බලවේගය කේන්ද්‍ර කරගෙනයි. එවකට තිබුණේ මේ රටේ රෙද්ද බැනියම ඇඳපු, සංස්කෘතියට ගරු කරපු, බෞද්ධ සංස්කෘතිය අතින් ගොඩනැගුණු දේශපාලන බලවේගයක්.එහෙම ගොඩනැඟුණු දේශපාලන බලවේගය අපට නොගැළපෙන දේශපාලන බලවේග සමඟ සන්ධානගත වීමේ ප්‍රතිඵලයක් විදියටයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිගේ නායකත්වයෙන් බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නිර්මාණය කළේ. අපටත් වගකීමක් තිබෙනවා අපි නියෝජනය කරන දේශපාලන කඳවුර ආරක්ෂා කරන්න. ඒක මේ රටේ ඒකීයත්වය පිළිබඳව කොන්දේසි විරහිතව සටන් කරන, විශ්වාස කරන, බෞද්ධ සංස්කෘතිය මත ගොඩනැඟුණු ජන සමාජයක් ආරක්ෂා කළයුතුයි කියා විශ්වාස කරනවා වගේම දේශීය ආර්ථිකය ගොඩනැඟීමෙන් අපේ මාතෘභූමියේ ආර්ථිකය ගොඩනැඟිය හැකියි කියා අපි දැඩි සේ විශ්වාස කරනවා. මෙවර ජනාධිපතිවරණයේදී මටත් අපේ පක්ෂයටත් ඒ වගකීම ඉටුකරන්න යුතුකමක් තිබෙනවා. අපි පටු දේශපාලන අරමුණුවලට තමන්ගේ වගකීම් පැහැර හැරි දේශපාලන බලවේගයක් නොවෙයි. අපි හැම අවස්ථාවකම රටේ වගකීම් දරපු, වගකීම් ජයග්‍රහණය කළ දේශපාලන බලවේගයක්. 30 අවුරුද්දක යුද්ධයක් අවසන් කළ දේශපාලන බලවේගයක්. කොවිඩ් 19 වසංගතයට මුහුණදුන් දේශපාලන බලවේගයක්. ඒ වගේම තමයි යම් කුමන්ත්‍රණවලින් අපේ බලවේගය පරාජය කරන්න උත්සාහ කළත් අපි නිරන්තරයෙන් කඳවුරත් බලවේගයත් ආරක්ෂා කිරීම සඳහා රට ගැන හිතන දේශපාලන තීන්දු ගත් බලවේගයක්. නූතන පරම්පරාව නියෝජනය කරන පුද්ගලයෙක් ලෙස අපේ රට දියුණු රටක් කිරීමේ වගකීම අප සතුව තිබෙනවා. ඒ හැකියාව අපි සතුයි. ඊළඟ වසර 10 ඇතුළත අපේ රටේ දළ දේශීය නිෂ්පාදිතය දෙගුණයක් කළ යුතු වෙනවා. ඒ සඳහා ඉලක්කගත වැඩපිළිවෙළක් සමඟ අප ඉදිරියට යා යුතුයි. 2005 වසරේ දී මහින්ද රාජපක්ෂ මහතා මේ රට භාර ගන්නා විට ඩොලර් බිලියන 20ක තිබුණු ආර්ථිකය ඩොලර් බිලියන 85ක් දක්වා වර්ධනය කරන්න සමත් වුණා.

එදා 2015න් පසුව අද දක්වා තවමත් එම සීමාවේ රඳා පවතිනවා. නූතන පරම්පරාවේ සිටින අයකු ලෙස බිලියන 85 ආර්ථිකය බිලියන 180ක් දක්වා පරිවර්තනය කිරීමේ වගකීම අපි භාර ගන්නවා. අපි නූතන පරම්පරාව නියෝජනය කරනවා. ඩිජිටල්කරණයෙන් මේ රටේ බොහෝ ගැටලුවලට විසඳුම් සොයා ගන්න පුළුවන්. රාජ්‍ය සේවය ගෞරවාන්විත රාජ්‍ය සේවයක් කරනවා වගේම දේශපාලන මැදිහත්වීමකින් තොරව රාජ්‍ය සේවයේ මාරුවීම්, වැටුප් වැඩිවීම් විනිවිදභාවයකින් යුතුව කිරීමට කටයුතු කරනවා. පුරවැසියන්ට සපයන සේවා ඩිජිටල්කරණයෙන් සැබෑවටම පෝලිම් යුගය අවසන් කරන්න පුළුවන්. ඒ සඳහා ඩිජිටල් යන්ත්‍රණයක් හරහා මාතෘභූමියේ ජනතා සේවා පරිවර්තනය කළ යුතු වෙනවා.ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන කාලයේ මම තාක්ෂණ ඇමැතිවරයා වශයෙන් අපි ඩිජිටල් හැඳුනුම්පත හඳුන්වා දුන්නා. නමුත් 2020 සිට එය ක්‍රියාත්මක වුණේ නැහැ. අපි පිහිටුවන ආණ්ඩුවකින් පළමු මාස 6 තුළ අපි හඳුන්වා දුන් ඩිජිටල් හැඳුනුම්පත හරහා මේ රටේ සමස්ත රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කරා රැගෙන යන්නත් ජනතා සේවා ඩිජිටල්කරණයට පරිවර්තනය කිරීමේ වගකීමත් භාර ගන්නවා.

ඒ තුළින් මේ රටේ බදු ප්‍රතිපත්තිය ජාත්‍යන්තරව, ජාතික හෝ සංවිධානයක් මත යැපෙන බදු ප්‍රතිපත්තියක් බවට පත්ව තිබෙනවා. එය සරල විය යුතුයි. අපි ගෙවන බදු වර්ගීකරණය අඩු විය යුතුයි. ඒ බදු වර්ග අඩු කරනවා වගේම බදු ගෙවන ප්‍රමාණය වැඩි කළ යුතු වෙනවා. ඒ සඳහා ජාතික හැඳුනුම්පත ඩිජිටල්කරණයෙන් බදු ව්‍යුහය වැඩි කර ගැනීමට අපට මධ්‍යකාලීනව හැකියාව ලැබෙනවා. ජනතාවට දැරිය හැකි බදු ප්‍රතිපත්තියක් අපි අනුගමනය කළ යුතු වෙනවා. රාජ්‍ය දේපළ විකිණීමෙන් පමණක්, අසාධාරණ බදුවලින් පමණක් රාජ්‍ය ආදායම වැඩිකළ හැකියි කියන මානසිකත්වයෙන් මිදිය යුතු වෙනවා. වක්‍ර බදු වෙනුවට සෘජු බදු ප්‍රතිපත්තියකට අපි හැකිතාක් පරිවර්තනය කළ යුතු වෙනවා. ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළක් ඉදිරි මාස කිහිහිපය තුළ අපි ක්‍රියාත්මක කරනවා. රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය වගේම ටෙන්ඩර් පටිපාටිය තරගකාරී ලංසු ක්‍රමයට පරිවර්තනය කිරීමෙන් රටේ බැංකු පද්ධතියෙන් පිටත ඇති ආර්ථිකය බැංකු පද්ධතියට පරිවර්තනය කිරීම තුළින් එසේ නැතිනම් ග්‍රේ ඉකොනොමි එකට පරිවර්තනය කිරීමෙන් මේ රටේ වංචාව හා දූෂණය යන සටන් පාඨය අවම කරන්න පුළුවන්.

අවුරුදු 30ක්, දේශපාලනඥයන් යුද්ධය කියන කාරණය මත තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවූවා. සමහර නායකයන් සාමය ගේන්න පත් වුණා. තවත් අය ගිවිසුම්වලට පත් වුණා. සාම සාකච්ඡා සඳහා පත් වුණා. නමුත් මහින්ද රාජපක්ෂ මහතා පැහැදිලිවම අවුරුදු තුනකදී රට සංවර්ධනය කළා පමණක් නොව මේ රටේ සියලු ජාතීන්ට, ආගම්වලට ආරක්ෂා වන පරිදි තිරසර සාමයක් රටට උදා කර දුන්නා. ඒ වගකීම අවුරුදු තුනකින් අවසන් කළා. ඒ හා සමානව මැතිවරණ වේදිකාවෙන් සාමය, නිදහස කියන සටන් පාඨය ඉවත් වුණා. නූතන පරම්පරාව නියෝජනය කරන දේශපාලනඥයෙක් ලෙස අපි ඩිජිටල් යන්ත්‍රණයට මේ රටේ ජාතික ආර්ථිකය පරිවර්තනය කිරීම තුළිනුත් ප්‍රසම්පාදන ක්‍රමවේද ටෙන්ඩර් පටිපාටිය තරගකාරී ක්‍රමවේදයට පරිවර්තනය කිරීම තුළිනුත් රටේ බැංකු පද්ධතියෙන් පිටත වන ගනුදෙනු බැංකු පද්ධතියට පරිවර්තනය කිරීමෙන් වසර තුනක් ඇතුළත වංචාව හා දූෂණය කියන සටන් පාඨය මැතිවරණ වේදිකාවෙන් අතුගාදාන්න කටයුතු කරනවා. එදා බොහෝ අය හිතුවා වරාය නගරය හැදුවේ සැලසුමක් නැතිව කියලා. නෙළුම් කුලුන හැදුවෙත් සැලසුමක් නැතිවයි කීවා.

අපි ගොඩනඟන රටේ ඊළඟ පරම්පරා භාර ගන්නා මව්පියන්ට සහ තරුණයන්ට තමන්ගේ හෙට දවස පිළිබඳ සුරක්ෂිතභාවයක් අවශ්‍ය වෙනවා. එක් පැත්තකින් මත්ද්‍රව්‍ය උවදුර, ළමා අපචාර, කාන්තා හිංසනය වැනි දේට නීති රෙගුලාසි අවශ්‍ය නම් අලුතින් හදමු. එවැනි සමාජ පර්වර්තනයකට අපි යා යුතු වෙනවා. ඒ සමාජ පරිවර්තනයට යන්න නම් මේ රටේ සමාජය නැවතත් ගමයි පන්සලයි, වැවයි දාගැබයි සම්බන්ධ විය යුතු වෙනවා. ගොඩනැඟිය යුතු වෙනවා. ගමේ අයත් සම්බන්ධ විය යුතු වෙනවා. ඒ සම්බන්ධතාව ගොඩනඟන්න හැකි සහ වුවමනාවක් තිබෙන අවශ්‍යතාව තිබෙන දේශපාලන බලවේගයක් ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මේ ජනතාව වෙනුවෙන් දියුණු රටක් ගොඩනඟන්න කටයුතු කරනවා. ඒ සඳහා මේ සියලු දෙනාටම ආරාධනා කරනවාÓ යැයි පැවසීය.

“ඔබ වෙනුවෙන් දියුණු රටක්” ප්‍රතිපත්ති ප්‍රකාශනය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා අතින් මහා සංඝරත්නය, මැති ඇමැතිවරු, විද්වතුන්, විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයන්, කලාකරුවන් ඇතුළු විද්වතුන් වෙත පිළිගැන්වීම මෙහිදී සිදුවිය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ, මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, රාජ්‍ය ඇමැතිවරුන් වන ඉන්දික අනුරුද්ධ, තේනුක විදානගමගේ, ශෂීන්ද්‍ර රාජපක්ෂ, ප්‍රසන්න රණවීර, සිරිපාල ගම්ලත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජීව එදිරිමාන්න, සරත් වීරසේකර, චමල් රාජපක්ෂ, ගාමිණී ලොකුගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ජානක තිස්සකුට්ටිආරච්චි, ඩී. වීරසිංහ, ජයන්ත කැටගොඩ, මහාචාර්ය රංජිත් බණ්ඩාර මහත්වරු ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

මහින්ද අලුත්ගෙදර