බොරැල්ල සමගි ජන බලවේගයේ සමසංවිධායක ධූරයට ජනක

කොළඹ දිස්ත්‍රික්කයේ බොරැල්ල ආසනයේ සමගි ජන බලවේගයේ නව සම සංවිධායක වශයෙන් දේශමාන්‍ය ජනක නන්ද කුමාර මහතා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පත්කරනු ලැබ තිබේ.

තමා උපන් දේශයට සහ සමස්ත රටේම ජනතාවට නිබඳ සේවයක් කිරීම සහජ හැකියාවක් කොට ගත්් ජනක නන්ද කුමාර මහතා 1975 පෙබරවාරි මස පළමු වැනිදා කඩුවෙල ප‍්‍රදේශයේ දී මෙලොව එළිය දුටුවේය. ඒ දරුවන් සිව් දෙනෙකු ගෙන් යුත් හෙළ පවුලක සිවුවැන්නා ලෙසයි.
තරුණ වියේ දී ම ව්‍යාපාරික ලෝකයට පිවිසි හෙතෙම තමා උපයා සපයා ගන්නා ලදදෙයින් පරාර්ථය උදෙසා කොටසක් වෙන් කළ පරාර්ථකාමී ව්‍යාපාරිකයකු විය. තමා උපන් දේශයට ආගමට දහමට ආදරය කළ ඔහු 2004 වර්ෂයේ දී උතුම් දළදා මාලිගාවට රිදියෙන් නිමකළ පැන් කෙණ්ඩියක් පූජා කළේ ආගම උදෙසා තම වගකීම ඉටු කළාක් සේ සිතමිනි. නව යොවුන් වියට එළඹි ජනක නන්ද කුමාර කුල කුමරා හෙළ කුල සිරිතට අනුව විවාහ ගිවිස ගැනීමෙන් ඉක්බිති ව පින්වත් දියණියක සහ පුතකු ට ආදරණීය පියෙකු විය. එම දරුවන් හට තම රටේ දී නිසි අධ්‍යාපනය ලබා දී දැනට විදෙස්ගතව වැඩිදුර අධ්‍යාපනය හැදෑරීමට ඉඩ සලස්වා ඇත. තම දරුවන්ට මෙන්ම අනෙක් දරුවන්ටද සෙනෙහස නොඅඩුව බෙදාදීමට දැඩි කැමැත්තක් දැක්වූ මෙතුමා දරුවන් ගණනාවකට අධ්‍යාපන ශිෂ්‍යත්ව ප‍්‍රදානය කළේ නිහඬවමය. ජනක නන්ද කුමාර මහතා උපන් දේශයේ තමන් කුඩා කල දහම් අධ්‍යාපනය ලද දහම් පාසලේ දරුවන්ට අකුරු කිරීමට අඩුවක්ව පැවති ගොඩනැගිලි ප‍්‍රශ්නයට විසඳුමක් සපයමින් කොරතොට රජමහා විහාරස්ථානයට නව දෙමහල් ගොඩනැගිල්ලක් සාදා පරිත්‍යාග කළේ යුතුකමක් ඉටු කිරීමක් ලෙස සලකමිනි. ඉන් නොනැවතුනු ඔහු 2011 වර්ෂයේ ඓතිහාසික කන්දේ විහාරාධිපති හිමිගේ ආරාධනයෙන් තිස්සාරාමයට අඩුවක්ව පැවතුන තෙමහල් සංඝාවාස ගොඩ නැගිල්ලක් තම ධන පරිත්‍යාගයෙන් කරවා එවකට ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් සඟසතු කොට පූජා කරන ලදී.
තමන් විටෙක පවුලේ සියළු සාමාජිකයන් එක්ව දාන පාරමිතාවක් පුරන්නා සේ එතුමා සහ ආදරධෑය බිරිඳ මෙන්ම දරුවන් ද පැළඳි රන් ආභරණ පරිත්‍යාග කොට මහනුවර ශ‍්‍රී දළදා මාළිගාවට පවුම් 47කින් යුත් රණින් නිම කළ සඳුන් පැන් කෙණ්ඩියක් 2007 වර්ෂයේ දී පූජා කරන ලදී.
හිසට සෙවණක් නොලද දිළිඳු පවුල් සඳහා ද ස්ථිර නිවසක් නො ලැබෙන තෙක් ජනක නන්ද කුමාර මහතාගේ හිතට නිවනක් නොලැබුණා සේය. සෑම විටම ගරු ස්වාමීන් වහන්සේලා ගේ මග පෙන්වීම යටතේ අසරණ පවුල් උදෙසා නිබඳවම නිවාස ඉදිකර දීමට එතුමාට හැකියාව ලැබුණි. මහනුවර අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි නාරම්පනාවේ ආනන්ද හිමියන්ගේ මඟ පෙන්වීම යටතේ උඩුදුම්බර ඉරියගොල්ල සහ නුවරඑළිය හඟුරන්කෙත රිකිල්ලගස්කඩ ප‍්‍රදේශයේ ඉදි කර පරිත්‍යාග කළ නිවාස ඉන් කිහිපයකි. වසර පහක් පුරාවට සෑම පොහෝ දිනකම සිරස රූපවාහිනියේ විකාශය වූ විචිත‍්‍ර ධර්ම කථික ශාස්ත‍්‍රපති පූජ්‍ය මාවරලේ භද්ධිය ස්වාමීන් වහන්සේ සහභාගීවූ සිරස දම්සර වැඩසටහන විකාශය සඳහා මෙතුමා අනුග‍්‍රහය දක්වන ලද්දේ ධර්ම ප‍්‍රචාරණය දානමය පින්කමක් සේ සලකමිනි. තව ද ඒ හා සමගාමීව රෝගී වූ අපේම මිනිසුන් වෙනුවෙන් රෝද පුටු, අත්වාරු, අක්ෂිකාච සහ වෙදහෙදකම් සඳහා මූල්‍ය පරිත්‍යාගයන්ද ප‍්‍රදානය කර දීම එම දිනවල දී ම සිදු කෙරුණි. රෝගී තත්ත්වයෙන් පසුවන දරුවන් ගේ පවුල් වෙනුවෙන් දැනටමත් තම ව්‍යාපාරික ස්ථාන හරහා මාස්පතා නිබද පරිත්‍යාග ලබා දේ. ජනක නන්ද කුමාර මහතා 2018 වර්ෂයේ ලෝක ළමා දිනය නිමිත්තෙන් මහනුවර උඩුදුම්බර ප‍්‍රදේශයේ ළමා උද්‍යානයක් කරවා පරිත්‍යාග කළේ මල් කැකුළු වන් දරු පැටවුන්ගේ සතුට අගයන සෙනෙහෙබර පියෙකු ලෙසිනි. දේශමාමක ලංකා පුත‍්‍රයකු වශයෙන් තමන් උපන් දේශයට සහ උතුම් බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා මෙතුමා කළ ජාතික මෙහෙවර ඇගයීම වස් ජනක නන්ද කුමාර මහතා 2009 වර්ෂයේදී දේශමාන්‍ය යන ගෞරව නාමයෙන් පිදුම් ලද්දේය. දේශමාන්‍ය ජනක නන්ද කුමාර මැතිතුමා එවකට ක‍්‍රියාකාරී දේශපාලනයට අවතීර්ණව නොතිබුණද පසුගිය වකවානුව තුළ කිහිප විටකදීම උසස් අධ්‍යාපන සහ වරාය සංවර්ධන අමාත්‍යංශයේ ඇතුළු අමාත්‍යංශය කිහිපයකම අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකත්වය හෙබවීමට තරම් සුදුස්සකු විය. ව්‍යාපාරික ප‍්‍රජාව අතර කවදත් ජනප‍්‍රිය චරිතයකට හිමිකම් කියූ දේශමාන්‍ය ජනක නන්ද කුමාර මැතිතුමා රටේ සංවර්ධනයට ඍජු දායකත්වයක් දරමින් ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ සමාගම් කිහිපයක කළමනාකාර අධ්‍යක්ෂක ධුරය හොබවන අතර රටේ ප‍්‍රධාන විදේශ ඉදිකිරීම් සමාගම් කිහිපයක සැපයුම්කරුවකු වශයෙන්ද කටයුතු කරයි.