කොළඹ නගරයට එළිය ගෙනෙන ඔලිම්පික් ප්‍රමිතියේ නිල් හොකී පිටිය

වසර ගණනාවක් කතාබහට ලක්වූ කොළඹ හොකී පිටිය ඉතා කෙටි කාලයකදී අංගසම්පූර්ණ ලෙස නිමකිරීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට හැකිවී ඇත. මෙම ව්‍යාපෘතියේ නිමාව හොකී ක්‍රීඩාවල ඇල්මක් දක්වන සියලුම හොකී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙන්ම හොකී පරිපාලනයට මහත් අස්වැසිල්ලක් වනු ඇත.

ලෝක හොකී සම්මේලනයේ (World Hocky) සභාපති ටයාබ් අකරම් සහ ආසියානු හොකී සංගමයේ සභාපති පියුමියෝ ඔගුරා සමඟ පැවති සාකච්ඡාවලින් අනතුරුව රුපියල් මිලියන 165ක වටිනාකමකින් යුත් පැරිස් නගරයේ පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියේදී භාවිත කරන මෙම නිල් පැහැති කෘත්‍රිම හොකී පිටිය රුපියල් මිලියන 55 (නියමිත වටිනාකමින් 33% වටිනාකමකට) ලබාගැනීම ඇගැයීමට ලක්විය යුතුවේ.

මීට අමතරව ක්‍රීඩා පිටිය සකස් කිරීමේදී නිමාකළ යුතු අනෙකුත් කාර්යයන් සඳහා ආසන්න වශයෙන් රුපියල් මිලියන 120ක මුදලක් වැයවී ඇත. මේ අනුව මෙම ඔලිම්පික් පරිසාධන සියලුම සපුරාලන නිල් හොකී පිටිය සඳහා වැයවන මුළු මුදල රුපියල් මිලියන 175ක් වේ.

මෙම ව්‍යාපෘතිය සඳහා වූ කැබිනට් පත්‍රිකාව 2023.12.13 වන දින අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් අත්සන් කිරීමෙන් අනතුරුව ඒ සඳහා මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිර්දේශයන් 2024.01.08 දින ලැබී ඇත. එමෙන්ම 2024.01.08 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන ඇත.

මෙම ව්‍යාපෘතියේ ගිවිසුම (MOU) ඕමානයේ, මස්කට් නගරයේ ඔලිම්පික් තරගාවලිය සඳහා කණ්ඩායම් තෝරන අවස්ථාවේදී 2024.01.21 දින ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්, මහාචාර්ය (රියර් අද්මිරාල්) ශෙමාල් ප්‍රනාන්දු සහ ලෝක හොකී සම්මේලනයේ සභාපති ටයාබ් අක්රම් අතර සිදුවිය.

මෙම ව්‍යාපෘතිය සඳහා පොලිටන් ආයතනය විසින් නම්කරන ලද විශේෂඥ ශෝන් ගවුඩි පෙබරවාරි 26 සහ මාර්තු 1 කාලසීමාව තුළදී විශේෂ පරීක්ෂාවකට ලක්කරන ලදි. මෙම ව්‍යාපෘතියේ මූලික ප්‍රතිසංස්කරණ කටයුතු මැයි මාසය ආරම්භයේ සිදුකිරීමට සැලසුම් කළද ඒ සඳහා යම්කිසි කාලයක් ගතවිය. එහි ප්‍රතිඵලයක් වශයෙන් මැයි මාසයේදී වැඩ නිමාකිරීමට නොහැකි විය.

ඉන් අනතුරුව ජූනි මාසයේදී සියලු වැඩ නිමාකිරීමට කටයුතු කළද එවකට පැවති අධික වර්ෂාව හේතුවෙන් ව්‍යාපෘතිය නිමාකිරීමේ කටයුතු කල්ගත විය.

මේ වන විට සියලු වැඩ නිමාවී ඇති අතර, ලෝක හොකී සංගමයේ මූලිකත්වයෙන් අවශ්‍ය ජාත්‍යන්තර සහතිකය ලබාගැනීමට කටයුතු සැලසුම් කර ඇති අතර, එම කාර්යය නිමාවනවාත් සමඟ කඩිනමින් හොකී ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා එය දායාද කිරීමට කටයුතු කෙරේ.